coronavirus news

කොළඹ දිස්ත්‍රික්කය තවමත් අවධානම් තත්ත්වයේ පසුවන බැවින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනය වන විට 20,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් සියලූදෙනා මීට පෙර හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයින් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,171 ක්.

ඉන් අසාදිතයින් 14,069 දෙනෙකු පූර්ණ සුවය ලබා මේවනවිටත් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 6,015 ක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසුවේ, මේවනවිට කොවිඩ් 19 අවධානම කොළඹ දිස්ති‍්‍රක්කයට කේන්ද්‍ර ගතවී ඇති බවයි.

අද දිනයේ හුදෙකලා භාවයෙන් ඉවත් කරන ප‍්‍රදේශවල ජනතාවට වැඩි වගකීමක් පැවරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද 87 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ රාති‍්‍රයේදී තවත් කොරෝනා මරණ 04 ක් මෙරටින් වාර්තාවීමත් සමගයි. එලෙස මියගොස් ඇති සිව්දෙනා අතරින් දෙදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා කාන්තාවන්. ඔවුන් සියලූදෙනා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

මියගිය පිරිමි පුද්ගලයින් දෙදෙනා අතරින් එක් පුද්ගලයෙකු කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් තිබෙනවා. මරණයට හේතුව කොරෝනා වෛරසය ආසාදනයෙන් නිධන්ගත පෙනහලූ රෝගයක් උත්සන්න වීම බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව පැවසුවේ.

මියගිය අනෙක් පුද්ගලයා 75 හැවිරිදි වියේ පසුවූ කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයාව කොළඹ ජාතික රෝහලේ සිට වෙනත් රෝහලක් වෙත මාරු කර එවා තිබෙනවා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අදාළ පුද්ගලයා ඊයේ දිනයේදී මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. නව කොරෝනා වෛරසයේ ආසාදනය සමග නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම මරණයට හේතුව බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් ද කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් සිටි බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව පැවසුවේ.

ඇය ඉකුත් 21 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් ද කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. එම කාන්තාව සිය නිවසේදීම මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව පැවසුවේ. මරණය සිදුව ඇත්තේ ඉකුත් 20 වනදා වන අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනයත් සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි.

Similar Posts