නිහඬ බව කියන්නෙත් හඬක් බවත්, එහි හොඳ අර්ථයන් තිබෙන බවත් එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් කර්මාන්ත ඇමැති, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතා පැවසීය.

පෙරේදා (10වැනිදා) මාලබේ පිහිටි කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය :- ඔබතුමා කාලයක් නිශ්ශබ්දව හිටියා. ඒ මොකද?

පිළිතුර – නිහඬ බව කියන්නෙත් හඬක්.

ප‍්‍රශ්නය – මොකක්ද ඒ හෙඬ් තේරුම?

පිළිතුර – එහි හොඳ අර්ථයන් තිබෙනවා. එය තේරුම්ගත හැකි අයට තේරුම්ගත හැකියි.

ප‍්‍රශ්නය :- ඔබතුමා පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා හෝ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවාට විරුද්ධව කතා කළා.

පිළිතුර – බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් අයකු පැමිණෙනවාට විරුද්ධව අපි කතා කළේ නැහැ. අපි කතා කළේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලූවත් නිරාකරණය විය යුතුයි කියලයි. එම ස්ථාවරයේ අපි තවදුරටත් ඉන්නවා.

ප‍්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා දීම පිළිබඳව ඔබතුමන්ලාගේ පක්ෂය කැමතිද?

පිළිතුර – බැසිල් රාජපක්ෂ මහතාට හෝ අපි ගොඩනැගූ ආණ්ඩුවේ ඉන්න පාර්ශ්වකරුවන් අතරින් ඕනෑම අයකුට ඕනෑම තනතුරක් දීමට ජනාධිපතිතුමන්ට අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපට ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.’

ප‍්‍රශ්නය :- ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන විදිහට ඔබතුමාලාත් විශ්වාස කරනවා ද, මේ කඩා වැටුණු ආර්ථිකයට පණක් දෙන්නයි බැසිල් රාජපක්ෂ මහතා පැමිණියේ කියා.

පිළිතුර – ආර්ථිකයේ තිබෙන අභියෝගය ජයග‍්‍රහණය කළ හැකි නම් එය ඉතාම වැදගත්. මම දන්නේ නැහැ එය එතුමාට පුළුවන් වෙයිද, බැරි වෙයිද කියා.

ප‍්‍රශ්නය :- ඇතැමුන් කියනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රට ඉදිරියට ගෙන යන්න අසමත් වෙලා තිබෙනවා ඒ නිසයි බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආවේ කියා. ඒ පිළිබඳව මොකද කියන්නේ ?

පිළිතුර – එහෙමනම් ජනාධිපතිතුමා ඇමැතිවරුන්ට බලය පවරන්නේ ඇයි? ජනාධිපතිවරයා සතු විධායක බලය තමයි කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන්ට පවරා තිබෙන්නේ. කැබිනට් අමාත්‍යවරුන් හරහා ඒ විධායක බලය රාජ්‍ය අමාත්‍යවරුන් දක්වා පහළට ලබාදී තිබෙනවා. එය ව්‍යවස්ථානුකූලව කළ යුතු දෙයක් මිස ජනාධිපතිතුමාට බැරි නිසා කරන දෙයක් නොවෙයි. එය ඒ විදිහට අර්ථකථනය කිරීම සුදුසු නැහැ. එය වැරදියි.

ප‍්‍රශ්නය :- ඔබතුමාගේ අමාත්‍යාංශයේ යම් යම් කෑලි ගැලවෙනවා නේද ?

පිළිතුර – ඔය කියන්නේ එප්පාවල පොස්පේට් ආයතනය ගැන ද, ඒක සිදුවෙලා දැන් ගොඩක් දවස්.

ප‍්‍රශ්නය :- ඒ කියන්නේ ඔබතුමාට යම් යම් කෙණෙහෙලිකම් මේ ආණ්ඩුව තුළින් සිදු වෙනවාද?

පිළිතුර -එහෙම පෙනෙනවද ?

Similar Posts