ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

gota-ranil

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක.

83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි.

2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි සිද්ධි දාමයෙන් පෙනී යනුයේ මතුපිට වේශය කවරක් වුවද ඇතුළාන්තයෙන් නම් අප තවමත් එදා මෙන්ම අවිචාරවත්, අනුකම්පා විරහිත හා නොමිනිස් මිනිසුන් සමූහයක් බව නොවේද?

නිට්ටඹුවේදී ඝාතනය වූ මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂකයාගේ මරණ පරීක්ෂණ තුළින් හෙළිවූයේ ඔවුන්ගේ මරණයට හේතුව වෙඩි තැබීම් නොව හිසට හා සිරුරට එල්ල වූ පහරදීම් බවය. මන්ත්‍රීවරයාගේ වාහනය වට කරගත් පිරිසට වෙඩි තැබීමෙන් ආරක්ෂකයා කළේ වරදක් බවට වාදයක් නැත. එයින්ද ජීවිතයක් අහිමි විය. ඉන්පසු මන්ත්‍රීවරයා හා ආරක්ෂකයා පිරිසේ ග්‍රහණයට පත්වූ විට ඔවුන්ව පොලිසියට භාරදීමේ හැකියාව තිබුණි. කළ යුතුව තිබුණේද එයයි. නමුත් වූයේ ඔවුන්ව නිරුවත් කොට තලා පෙළා මහ මග මරා දැමීමයි.

අපේ රාජපක්ෂ – විරෝධය එය නම් අප රාජපක්ෂවරුන්ට වඩා වෙනස් වනුයේ කවර අර්ථයෙන්ද?

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට ආණ්ඩුවේ මැරයින් අමානුෂික ප්‍රහාරයන් එල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ හා ඔහුගේ අනුචරයින් පිරිසකගේ සැලසුමක් අනුවය. ඒ ප්‍රචණ්ඩත්වය හෙළා දැකිය යුත්තකි. ඊට සම්බන්ධ සියල්ලන්ටම නීතියෙන් උපරිම දඬුවම් ලබාදිය යුතුය.

නමුත් ඒ ප්‍රහාරයන්ගෙන් පසු වත්මන් දේශපාලන පිල් බෙදීමේ ‘අපේ පැත්තෙන්’ රාජපක්ෂ විරෝධයේ නාමයෙන් සිදුවූ ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම සාධාරණීකරණය කළ හැකිද? අප රාජපක්ෂවරුන්ගේ අව ක්‍රියාවන් හෙළා දකින තරමටම පැහැදිලිව හා නිරවුල්ව ප්‍රචණ්ඩත්වයත් හෙළා දැකිය යුතු නොවේද? වරද කරවක් වුවද මිනිසුන් මහමග ඝාතනය කිරීම, නිවෙස් පිළිස්සීම අපට පිළිගත හැකිද? විශේෂයෙන්ම ඒ සමාජ ප්‍රචණ්ඩත්වය සිදුවූයේ රාජපක්ෂ විරෝධී අරගලයේ නාමයෙන් නම්, අරගලයට ජයවේවා යැයි හඬ නැඟූ පිරිස් විසින් නම්, එය හෙළා දැකීම අරගලයේත් එතුළින් බිහිකිරීමට අපේක්ෂා කරන අනාගත ලංකාවේත් යහපතට අවැසි නොවේද?

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පසු හටගත් සමාජ පිපිරීම්වලට මූලික හේතුවක් වූයේ ගතවූ මාස කිහිපය පුරා ජීවිතය රැක ගැනීමට මෙරට බහුතර ජනතාව දැරූ (හා තවමත් දරන) වේදනාත්මක ව්‍යායාමය බව සැබෑය. ඒ මිනිසුන් එලෙස පෝලිම්වලින්, බඩු මිලෙන්, විදුලිය කැපීමෙන් විඳි අනේකවිධ පීඩා නොවන්නට අනාගතය පිළිබඳව වූ බිය හා අපේක්ෂාභංගත්වය නොවන්නට සමාජ ප්‍රචණ්ඩත්වය මේ මට්ටමෙන් පුපුරා යන්නේ නැත.

ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් හේතු වටහාගත යුතුය. එය අත්‍යවශ්‍යය. ඒ සමඟම ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම හෙළා දැකිය යුතුය. එයද එපමණකටම අත්‍යවශ්‍යය.

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට පහරදුන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි කියන අතරම ඉන්පසු රට පුරා පැතිරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිවයුත්තන්ට එරෙහිවද (ඔවුන් අපේ පිලේ වුවද) නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි අප එක හඬින් කිව යුතු නොවේද?

2007 ඔක්තෝබර් 22 දින අනුරාධපුර සාලියපුර ගුවන් හමුදා කඳවුරට කොටි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය නිමාවූ පසු ඉන් මියගිය කොටි සෙබළුන්ගේ (කාන්තාවන් 3 දෙනෙකුද ඇතුළුව) සිරුරු නිරුවත් කොට ඒවා ට්‍රැක්ටරයක පටවාගෙන නගරයේ ප්‍රදර්ශනය කිරීමට හමුදාව ක්‍රියා කළේය. එදා බහුතරයක් ජනතාව මෙම අශිෂ්ට ප්‍රදර්ශනයෙන් කම්පා වී ඊට එරෙහි විය. නගරවාසීන්ගෙන් ලැබුණු විවේචනාත්මක ප්‍රතිචාරය නිසා මේ අශිෂ්ට ප්‍රදර්ශනය අතරමග නතර කිරීමට හමුදාවට සිදුවිය.

ඊට දෙවසරකට පසු වේළුපිල්ලේ ප්‍රභාකරන් කොටි නායකයාගේ මළසිරුර යට ඇඳුම තෙක් නිරුවත් කොට ගත් ඡායාරූපය මෙරට බහුතරයක් ජනතාව ඉමහත් අභිරුචියෙන් නැරඹූහ. අත්අඩංගුවට පත්වූ කොටි සාමාජිකයන් (කාන්තාවන්ද ඇතුළුව) මරා දැමීමට මොහොතකට පෙර ගත් ඡායාරූපයන්ගෙන් අපේ සාමූහික හදවත සැලුණේ නැත. 2011දී කොටි නායකයාගේ මව මියගිය විට ඇගේ දරසෑය අසල කිරි දෙන බැල්ලියන් තිදෙනකුගේ සිරුරු දමා ගොස් තිබූ පුවත පුවතක්වත් නොවීය.

සතුරාට කවරාකාරයෙන් සැලකුවද එහි වරදක් නැතැයි යන රාජපක්ෂ චින්තනය 2001 සිට වසර දෙක තුනක් තුළ අපේ සාමූහික මනසට කිඳා බැස ඇති බව ඉහත ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලි විය.

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට පහරදීමට පැමිණි මැරයන් අල්ලා ගැනීමෙන් පසු ඔවුන් නිරුවත් හෝ අඩ නිරුවත් කොට ගස් බැඳීමෙන් හා මහපාරේ ඇවිද්දවීමෙන් පෙනී යනුයේ අරගලයේ හදවත තුළටද රාජපක්ෂ විෂ ඇතුළු වී ඇති බව නොවේද?

අරගලයට උගන්වන්න නොව අරගලයෙන් ඉගන ගන්න යනු ගතවූ දිනවල ජනප්‍රිය කියමනක් විය. අරගලයෙන් උගත යුතු දෑ බොහෝය. නමුත් අරගලයද ඉගෙන ගත යුතු දෑ බොහෝය. පහර කෑ අරගලකරුවන්ට සහායට පැමිණි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාට අරගල භූමිය තුළ පහරදීමෙන් පෙනෙනුයේ තමන්ට උදව්වට තම නිවසට එන පසමිතුරකුට වුවද ආචාරශීලී වීමේ ඉපැරණි සරල ගුණධර්මය පවා අරගලය උගත යුතු බවය.

ඉතිහාසයේත් අප සියල්ලන්ගේමත් අතීත වැරදිවලින් අරගලය උගත්තේ නැතිනම් රාජපක්ෂ වෛරසයට තමන්ද ගොදුරු වූ බව වටහා ගත නොහැකි නම් අරගලයෙන් බිහිවිය හැක්කේ අලුත් ලංකාවක් නොව අලුත් ඇඳුම් ලා ගත් පරණ ලංකාවමය.

ගෲෂා හා නතාලියා

මැයි 9 වැනිදා පුපුරා ගිය සමාජ ප්‍රචණ්ඩත්වය රාජපක්ෂවරුන්ට වෙස් වළා ගත් ආශීර්වාදයක් වූ බව දැන් පැහැදිලිය.

හදිසි නීතිය නැවත පනවන්නට පමණක් නොව, සන්නාහ සන්නද්ධ හමුදාව වීදිවලට කැඳවන්නටත් ඉන් ගෝඨාභය ජනපතිවරයාට පොටක් පෑදුණි.

අද හමුදාව බලයේ දොරකොඩටම පැමිණ ඇත. ඒ ව්‍යසනයේ වගකීමෙන් යම් කොටසක් අපද සතුය. මොනයම් හේතුවක් නිසා හෝ අවසන් කඩුල්ල පැනීමට හමුදාවට උපකාරී වන අයුරින් අප (යළිත්) කටයුතු කළහොත් එය ඉතිහාසය සමාව නොදෙන මාරාන්තික වරදක් වනු ඇත.
225ම එපා යැයි නැඟෙන ජන හඬ සාධාරණය. ඊට දේශපාලන හා ආර්ථික දිය සුළියකට හසුව ඇති මොහොතක යළි රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ අතිබහුතරය ක්‍රියා කළ ආකාරය සිහිගන්වනුයේ අත්ලාන්තික් දූපත මුහුදට ගොදුරු වූ රැයේදී එහි වැසියන් දියේ ගිලෙන අතරතුරත් තම වහලුන්ට හඬ නැගීය යයි බ්‍රෙෂ්ට් ලියූ කවි පදයයි. (Questions from a worker who reads)

අපේ විදේශ සංචිත ඩොලර් මිලියනයකට අඩුය. දැඩි සත්කාර ඒකක හා අධි සත්කාර ඒකක වසා දමන තැනට කටයුතු සැලසී ඇත. ලංකාව උද්ධමනයෙන් සිටිනුයේ ලෝකයේ දෙවැනි තැනය. ජනතාව කුසගින්නෙන් හා සුව කළ හැකි රෝග පීඩාවලින් මහමග මිය යන දිනය වැඩි ඈතක නොවේ.

මෙතරම් පැවැත්ම පිළිබඳ වූ අර්බුදයක් තුළ පවා නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීම වැනි කාරණයක් ගැනවත් එකඟතාවක් ඇතිකර ගැනීමට 225ට නොහැකි නම් මේ නරාවළෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය සංකීර්ණ හා දුෂ්කර තීන්දු තීරණ ගැනීම සඳහා එකඟතාවක් ගොඩ නගා ගැනීමට තරම් බුද්ධියක්, සංයමයක් හා නිර්භීත බවක් ඔවුන් සතු යැයි කෙලෙස නම් විශ්වාස කරමුද?

රටේ වත්මන් අර්බුදය සමනය කිරීම සඳහා විවිධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් විවිධ යෝජනා ඉදිරිපත්ව තිබේ. බලය නැති අපට කළ හැක්කේ විසඳුම් යෝජනා කිරීම පමණි. ඒවා කිරා මැන බලා වඩාත්ම උචිත හා ප්‍රායෝගික යෝජනා තෝරා ගෙන ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ ජනපතිවරයාටත් අගමැතිවරයා ප්‍රමුඛ (තවමත් සම්පූර්ණ නොවුණු) ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත්ය. නමුත් එවැනි සාධනීය ක්‍රියාවක නිරත වනවා වෙනුවට ඔවුහු සුපුරුදු බල ක්‍රීඩාවේ යෙදී සිටිති.

රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා තමන් බාර ගත් අභියෝගය බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ ගෲෂාගේ වැල් පාලම තරණයට සමාන කළේය. පක්ෂ – විපක්ෂ දේශපාලනඥයන්ගේ වත්මන් ක්‍රියාකාරීත්වය සිහිගන්වනුයේ හුණුවටයේම අවසන් ජවනිකාවයි. එනම් මයිකල් ළදරුවාගේ සැබෑ මව තීරණය කිරීමට අස්ඩෙක් විනිසුරුවරයා යෝජනා කරන තරගයයි. ගෲෂා හා දරුවාගේ උපන් මව වන නතෙලා හුණුවටයක් තුළ සිට දරුවා දෙපැත්තට ඇදිය යුතුය; දරුවා තමන්ගේ පැත්තට ඇද ගන්නාට දරුවා හිමි වේ.

නතෙලා දරුවා සොයනුයේ තම සැමියා වූ ආණ්ඩුකාරයාගේ දේපළ අත්පත් කරගැනීම උදෙසාය. ඇය දරුවා අදී. ගෲෂා දෙවතාවක්ම දරුවා ඇදීම ප්‍රතික්ෂේප කරනුයේ ඇය දරුවාට සැබැවින්ම ප්‍රේම කරන නිසාය. ඇයට වැදගත් ඔහුගේ හිමිකාරත්වය නොවේ; ඔහුගේ යහපතයි.
ලංකාව අද සිටිනුයේ ඒ හා සමාන තැනකය. මේ අර්බුදයෙන් ගොඩඒමට නම් අපට ගෲෂලා 225ක් නොව ලක්ෂ තුන හතරක් අවශ්‍යය.

නමුත් ලංකාව නම් දරුවාට අද එක් ගෲෂා කෙනකුවත් නොමැත. පක්ෂ-විපක්ෂ අතිබහුතරයක් ක්‍රියාකරනුයේ නතෙලා කළාක් මෙනි.

225ම එපා කීම සාධාරණ වුවද ඒ සමඟම තවත් කාරණයක් සිහි කටයුතුය. මේ 225 බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගියේ නැත. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් හැරුණු විට අන් සියල්ලන්ම එතැනට ගියේ අපේ ඡන්දයෙනි; අපේ මනාපයෙනි.

වත්මන් අර්බුදයට අපද කොටස්කරුවන් වනුයේ ජනපතිවරයා ප්‍රමුඛ සියලුම පක්ෂ-විපක්ෂ මැති ඇමතිවරුන් තෝරා ගත්තේ අප වන බැවිනි.

News Lanka Live නම් වෙබ් අඩවියේ මේ සතියේ අපූරු ඡායාරූපයක් පළවිය. එනම් ණයවී ඉදිකෙරුණු නව කැලණි පාලම මත දිග හැරුණු තෙරක් නොපෙනෙන ඉන්ධන පෝලිමකි. එහි සඳහන් වූයේ ‘තෙල් පෝලිමේ සිට නෙළුම් කුලුන දෙස බලා සිටීම – මෙය නොවේද අප පැතූ ආශ්චර්යය!’ යන වැකියයි.

වත්මන් ව්‍යසනයට ඡන්දදායකයන් ලෙස අපෙන් වූ දායකත්වය ඡායාරූපයෙන් හා වැකියෙන් මැනවින් සිත්තම් නොවේද? සංවර්ධනයේ නාමයෙන් රට ණය කරමින් සිදු කළ නාස්තිකාර ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘති පිළිබඳව සමාජයක් ලෙස අප සතුටු වූවා නොවේද? රටට ඉමහත් ණය කන්දරාවක් උරුම කළ, සතයක් නොඉපැයූ නෙළුම් කුලුන රාත්‍රියට විචිත්‍රවත්ව ආලෝකමත් වන විට ඉන් අප අමන්දානන්දයට පත් නොවූයේද? ඒ දිනවල එහි දර්ශන කොතෙක් නම් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූවාද? මෙයට මාස කිහිපයකට පෙර වරාය නගරයේ පාලමක් හා ගස් කිහිපයක් ජනතා දර්ශනය සඳහා විවර වූ පසු එය නැරඹීමට ජනතාව වැල නොකැඩී ගියේ නැද්ද? එය මඟුල් පින්තූර ගැනීම සඳහා ඉතාමත්ම ජනප්‍රිය ස්ථානය බවට පත්වූයේ නැතිද?
රාජපක්ෂවරුන්ට හෝ 225ටම හෝ බැණීම ප්‍රමාණවත් නැත. ඔවුන් බලයට පත් කිරීම පිළිබඳව ඡන්දදායකයන් ලෙස, පුරවැසියන් ලෙස අපෙන් වූ දායකත්වයද සිහි කටයුතුය. එවැනි ස්වයං ආවර්ජනයක් ස්වයං විවේචනයක් සිදු නොවේ නම් අතීතයේ වූ වරද අනාගතයේත් යළි යළිත් වීම වැළැක්විය නොහැක.

මෙම වරද දෙයාකාරයකින් සිදුවිය හැක. එකක් නම් රූපයට, කතාවට, පෞරුෂයට ධනයට හෝ පෙළපතට රැවටී මෙවැනිම වූ තවත් කුට්ටමක් තෝරා පත් කිරීමයි. දෙවැන්න නම් 225 පිළිබඳ කලකිරීම සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිළිබඳ කලකිරීමකට වර්ධනය වී හමුදා පාලනයකට දොර ඇරීමයි.

ඡන්දයකදී වැරදි තෝරා ගැනීමක් කළහොත් ඊළඟ මැතිවරණයේදී එය නිවැරදි කරගැනීමේ හැකියාවක් ඇත. නමුත් හමුදාව බලය අල්ලා ගතහොත් ඒ වරද නිවැරදි කරගැනීමට මිනී කඳු හා ලේ ගංගා අවශ්‍ය වනු ඇත.

ක්‍රමය වෙනස් කරන්නට නම් අපද වෙනස් විය යුතුයි. අප වෙනස් වන්නට නම් අපට වැරදුණු තැන් අවංකව හා බුද්ධියෙන් සලකා බලා වටහා ගත යුතුයි. එවැනි ස්වයං ආවර්ජනයකින් හා ස්වයං-විවේචනයකින් තොරව ආවේගයන්ට යටවීම යනු තිබෙන ව්‍යසනයට වඩා බරපතළ ව්‍යසනයකට අත වැනීමයි.

විසඳුම ක්ෂණික මැතිවරණයද?

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම අරගලය ලැබූ ජයකි. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාද එලෙසම ගෙදර යැවීම කළ යුත්තකි.

කළ යුතු හා කළ හැකි දේ අතර දැවැන්ත පරතරයක් සැබෑ ලෝකයේ පැවතිය හැක. අද අප මුහුණ දෙනුයේ එවන් තත්ත්වයකටය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවේ නම් ඔහුට ඉක්මනින් ඉවත් කිරීමේ ව්‍යවස්ථාමය මගක් අපට නොමැත.

මේ දේශපාලන අර්බුදය අතරතුර ආර්ථිකය කඩා වැටීමද වේගවත් වේ. බංග්ලාදේශයෙන් ඩොලර් පමණක් නොව බෙහෙත්ද ඉල්ලන තත්ත්වයට අප පත්ව ඇත. ණය ගෙවීම් පැහැර හැරීම නිසා මුදල් වෙළඳපළින් ණය ගැනීමේ හැකියාවක් නැත. දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවන තුරු ප්‍රමාණවත් ජාත්‍යන්තර අත්වැලක්ද අපේක්ෂා කළ නොහැක. දේශපාලන ස්ථාවරත්වයක් නොමැති තාක් ආර්ථිකය කඩා වැටීම තවත් වේගවත් වන අතර ජනතාව විඳින දුක තවත් වැඩිවනු ඇත.

ක්ෂණික මහා මැතිවරණයක් පැවැත්විය යුතුය යන ඉල්ලීම ප්‍රායෝගික නොවන්නේ ආර්ථික අර්බුදය නිසාමය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තරම් ප්‍රමාණවත් කඩදාසි තොග අප සතුද යන්න සැකසහිතය. කඩදාසි ආනයනය කිරීමට ඩොලර් නැති බව නම් නිසැකය. මැතිවරණ රාජකාරි සඳහා ප්‍රමාණවත් ඉන්ධන අපට තිබෙනු ඇතිද යන්න සැකසහිතය. තිබෙන ඉන්ධන මැතිවරණ රාජකාරි සඳහා යෙදීමෙන් ජනතාවගේ ඉන්ධන අහේනිය තවත් උග්‍රවන බව නම් නිසැකය.
මැතිවරණ ව්‍යාපාරය තුළ පක්ෂ-විපක්ෂ දේශපාලකයන් ක්‍රියාත්මක වනු ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ඔවුන් කටයුතු කරන ක්‍රමයටමය. ඉන් ජනතා කෝපය හා කලකිරීම තවත් වර්ධනය වනු ඇත. 225ම එපා යන සටන් පාඨය මැතිවරණ වර්ජනය කිරීමක් දක්වා වර්ධනය විය හැක.
මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොලැබුණහොත් යළිත් මන්ත්‍රීවරුන් බා ගැනීමේ සුපුරුදු සෙල්ලම ඇරඹෙනු ඇත.

මේ සියල්ල අතරතුර ආර්ථිකය පතුලටම කිඳා බැස, ව්‍යාපාර වැසී ගොස්, සෞඛ්‍ය පද්ධතිය පමණක් නොව, පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියද අකර්මණ්‍ය වී, විරැකියාව, උද්ධමනය හා දුප්පත්කම වර්ධනය වී ජනතා දුක සියලු සීමා මායිම් ඉක්මවනු ඇත. එවැනි තත්ත්වයක් තුළ කාගෙ කාගේත්, මැතිවරණ රැස්වීම්වලට පහර දෙන තරමට ජනතා කෝපය දෙගොඩ තලා යාමේ අවදානම අවතක්සේරු නොකළ යුතුය. එවැනි අරාජික අවනීතික තත්ත්වයක් හටගතහොත් එය වාසි වනුයේ බල තණ්හාධික හමුදා නායකයන්ට පමණය.

මේ තත්වය යටතේ ඇත්තේ ප්‍රායෝගික තෝරා ගැනීම් දෙකක් පමණි. එකක් නම් රාජපක්ෂවරුන්ට නොව රාජපක්ෂ විරෝධී පිලට හා රටට යම් වාසියක් ලැබෙන අයුරින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙයවීමයි.

නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මෙන්ම ගෝඨා ගෝ ගම අරගලකරුවන්ගෙන් එක් පාර්ශ්වයක්ද මෙම තෝරා ගැනීම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවක් පෙනේ. මුදල් ආංශික කාරක සභාවේ නායකත්වය ගැනීමට සූදානම් බවට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයද අයත් වනුයේ මේ ගණයටය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකාරකම් දෙස බලන විට මෙම උත්සාහයන් ඵල දරයිද යන්න අවිනිශ්චිතය. ඔහුට ලැබුණු ඓතිහාසික අවස්ථා සියල්ල නැති කර ගත්තේ ඔහුමය. මෙවර අගමැතිකම ලත් වහාම ඔහු රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට පිහිටු වූ කමිටුවලට පත්කළවුන්ගෙන් පෙනී යන්නේ ඔහු තවමත් පරණ රනිල් වික්‍රමසිංහම බවය.

2001 පමණ සිට රාජපක්ෂවරු රනිල්වත්, රනිල් රාජපක්ෂවරුන්වත් පාවිච්චි කළහ. නමුත් රනිල් වික්‍රමසිංහ පෙනී සිටියේ රාජපක්ෂවරුන් මෙන් නොව තමන් වෙනුවෙනි. ඔහු ඉතිහාසය පුරාම රාජපක්ෂ රූකඩයක් පමණක් වූවා නම්, 2015 මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පරාජය කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඔහුගෙන් වන්නේ නැත. 2018 ව්‍යවස්ථා-විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට ඔහු නායකත්වය ගන්නේ නැත. ඔහු අගමැතිකම භාර ගත්තේ (තමන්ම) අහිමි කරගත් තම දේශපාලන අනාගතය යළි පණගැන්වීමටය. එය කිරීමට නම් රටට, ජනතාවට යම් සහනයක් ලබාදිය යුතු බව ඔහු දනී. ගෲෂා වැල් පාලමේ යන ගමන ගැන ඔහු කතා කළේ එබැවිනි. රට නමැති දරුවා අත්හැරියොත් ඔහුටද උරුම වන්නේ අගාධයයි. ඔහු ගොඩ එන්නට නම් රටද ගොඩ දැමිය යුතුය.

අගමැති ධුරය ගැනීමෙන් පසු කළ මුල් කතාවෙන් ආර්ථිකයේ සැබෑ තත්වය පිළිබඳව දරුණු සත්‍යය ඔහු නොසඟවා ජනතාවට තේරෙන බසින් ජනතාවට කීවේය. එය අගය කළ යුතුය. අභියෝගයේ ආර්ථික කොටසේ තරම ඔහු දනී; එහි දේශපාලන අඩංගුව ඔහුට වැටහෙනවාද යන්න සැකසහිතය.

මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ සුපුරුදු සෙල්ලමට නොයා අවංකවම විපක්ෂයේ සහාය ඔහු අපේක්ෂා කරනවා නම්, ඒ සහාය දීමට විපක්ෂයද ඉදිරිපත් වනවා නම් එයින් මැතිවරණයකට අවශ්‍ය දේශපාලන ස්වාධීනතාව හා ආර්ථික හැකියාව ගොඩ ගැනීමට ඉඩක් තිබේ.

විපක්ෂය ඉදිරියේ ඇති අනෙක් තෝරා ගැනීම නම් වාදභේද පසෙකලා තාවකාලික එකමුතුවක් තුළින් තමන්ගේ කෙනකුට අගමැති ධුරය ලබා ගැනීමට කටයුතු කිරීමයි. නමුත් මේ සඳහා පූර්ව කොන්දේසියක් වනුයේ විපක්ෂයේ එකමුතුවයි.

මේ දෙකම නොකර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අස්ථාවර කොට අසාර්ථකත්වයට තල්ලු කිරීමට විපක්ෂය ක්‍රියා කළහොත් එහි ප්‍රතිඵලය බිහිසුණු විය හැක. එයින් වැඩි හානියක් වනුයේ රාජපක්ෂවරුන්ට නොවේ. ඔවුන් සියලු වරද රනිල් අගමැතිවරයා මත පටවා ඔහුව අස් කොට වෙනකෙකු ඒ තනතුරට පත් කරනු ඇත. නැතහොත් හමුදාව රජය තුළට කැඳවනු ඇත.
රනිල්ට විකල්පයක් නොවී ඔහුව අස්ථාවර කළහොත් අස්ථාවර වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ආර්ථික අහේනියෙන් අසිහියට පත් ජනතාව පාර්ලිමේන්තුවද ගිනි තබා හමුදාවට දොර ඇර මල්මාලා දමා පිළිගන්නා තත්ත්වයකට රට තල්ලු නොකිරීම අපේ කාගේත් වගකීමයි.
ගෝඨා ගෙදර යැවිය යුතුය. නමුත් ගෝඨාට පළියට රටේත්, ප්‍රජාතන්ත්‍රවාදයේත්, අපේත් අනාගතය අරාජිකත්වයට හෝ හමුදා පාලනයකට බිලි නොදිය යුතුය.

තිසරණී ගුණසේකර
අනිද්දා

Related posts