ගැටලුවලට විසඳුම් සෙවීමට පැලැස්තර

what is the best definition of a problem

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි.

කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ ඔස්සේ ඔවුන්ගේ විසඳුම් හඳුනාගැනීමට සිදුවී තිබේ.

ඒ බොහෝ විසඳුම් පවත්නා ක්‍රමය රැකගැනීම සඳහා පැලැස්තරය. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් සහන ණයක් ලබාගැනීම වැනි ඒවාය. එහෙත්, එම විසඳුම් තුළම අභියෝගය ද තිබේ. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ තුළ මෙම ක්‍රමය පවත්වාගත හැකිද යන්නයි.

ශ්‍රී ලංකාව පවතින්නේ විප්ලවීය අවධියක බව අපි මීට පෙර ද අපගේ ලේඛන තුළ පෙන්වා දුන්නෙමු. මෙහිදී සිදුවී තිබෙන්නේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය තවදුරටත් පවත්වාගත නොහැකි හිරවීමක් සිදුවීම නිසා එම ක්‍රමය වෙනස් කිරීමට සිදුවීමයි.

එහිදී පවත්නා ක්‍රමය යනු කුමක්දැයි හඳුනාගත යුතුය. ගතානුගතික භාෂාවෙන් එය ධනවාදය යයි ද, එය අර්බුදයට පත්වීම ධනේශ්වර ක්‍රමයේ අර්බුදය යයි ද, එය බිඳවැටී නව සමාජ ක්‍රමයක් නිර්මාණය වීම විප්ලවය යයි ද කියනු ලැබේ.

අවශ්‍ය නම්, අලුත් සමාජ ක්‍රමය සමාජවාදය යයි ද උපකල්පනය කරන්නට පුළුවන. එහෙත්, මෙම සටහන ලියන මම එම ගතානුගතික භාෂාවෙන් මිදී දෘෂ්ටිවාදීමය නොවන ආකාරයකින් පවත්නා ක්‍රමය විග්‍රහ කරන්නට උත්සාහ කරමි.

ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රමය සරලව කිවහොත් මෙසේය. රටේ තේ, රබර්, පොල්, කුරුඳු, මිනිරන් වැනි සම්ප්‍රදායික අපනයන නිෂ්පාදන සිදුවේ. ඒවාට වටිනාකම් එකතු කිරීම ද සිදුවේ. එසේම, ඒවායින් කරනු ලබන නිෂ්පාදන දේශීයව ද භාවිතා වේ. පොල් වැනි ඇතැම් නිෂ්පාදන තවදුරටත් අපනයනයට ප්‍රමාණවත් නැත.

මේ අතර 1980 දශකයෙන් පසු සම්ප්‍රදායික අපනයන භෝග පසුබස්වමින් ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛ අපනයන කර්මාන්තවලින්, විදේශ ශ්‍රමිකයන්ගෙන් හා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් ඉදිරියට පැමිණියේය. අද වන විට නම්, අන්තර්ජාලය හා පරිගණක ආශ්‍රිත නව සේවා අපනයන අවකාශයක් ද පුළුල් වෙමින් තිබේ. ප්‍රතිඅපනයනය ද ශ්‍රී ලංකාවේ තවත් විදේශ විනිමය ආදායම් මාර්ගයකි.

මේ සියල්ලෙන්ම ලැබෙන ආදායම රටට අවශ්‍ය ආනයන සිදුකිරීම සඳහා ප්‍රමාණවත් නොවීම අද වන විට අප මුහුණපා සිටින ප්‍රධාන අර්බුදයයි. එය ගෙවුම් ශේෂ අර්බුදය ලෙස ආර්ථිකයේ හැඳින්වේ. වර්තමානයේදී සාමාන්‍ය ජනතාව එය ඩොලර් හිඟය ලෙස හඳුනාගනිති. වඩාත් සරලව කිවහොත්, පිටරටින් බඩු ගෙනඒමට ඩොලර් නැත.

කර්මාන්ත ඇමති විමල් වීරවංශ පසුගිය සතියේ ඇහැලියගොඩදී පැවති රැස්වීමකදී පැවසූ පරිදි මේ වන විට රටේවිදේශ විනිමය වත්කම් ප්‍රමාණය රන් සංචිතය ද සමග ඩොලර් බිලියන එකකි. 2022 ජනවාරි 8දා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක ඩොලර් ණයක් ආපසු ගෙවිය යුතුය. ඉන් පසු ඉතිරි වන විදේශ විනිමය සංචිතය සති කීපයකටවත් ආනයන සඳහා ප්‍රමාණවත් වන්නේ නැත.

ජනාධිපති ලේකම් කාර්යාලය 2021 ජනවාරි මාසයේදී නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් මිලියන හතරක් පමණ ඉන්ධන ආනයනය සඳහා වැය කරයි. එය සමස්ත අපනයන ආදායමෙන් තුනෙන් පංගුවකට ආසන්නය. එම නිවේදනයේම සඳහන් වන ආකාරයට, එසේ ආනයනය කරන ඉන්ධනවලින් තුනෙන් එකක් පමණ වැය කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහාය. ප්‍රවාහනය සඳහා ද ඉන්ධන අත්‍යවශ්‍යය. කර්මාන්ත රැසක් ද ඉන්ධන මත රඳාපවතී. අප ඉන්ධන ආනයනය කරගත යුතුය. ආනයනය කරන ඉන්ධන අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතුය.

ඇඟලුම් කර්මාන්තය රටට විශාල විදේශ විනිමයක් ගෙන එන්නක් වුව ද, එය තවමත් බොහෝ දුරට රඳාපවතින්නේ ආනයන මතය. මූලික නිෂ්පාදනයක් වන රෙදි පවා තවමත් ආනයනයන් වේ. රෙදි නිෂ්පාදන කර්මාන්තශාලා පිහිටුවීම පාරිසරික ගැටලු නිසා පහසු නැත. නිෂ්පාදන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුව සලකා මඩකලපුවේ එරාවුර්හි රෙදි නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට දැන් මුලපුරා තිබේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට පවතින තත්වය තුළ, රෙද්දේ, නූලේ, බොත්තමේ සිට ආනයන කරගන්නට නොහැකි වුණොත්, ඇඟලුම් වැනි අපනයන ද කඩාවැටේ.

ශ්‍රී ලංකාව වාහන ආනයනය මුළුමනින්ම නතර කර දැන් වසර දෙකකි. ආනයන සීමා කිරීමෙන් අර්බුදය ජයගත නොහැකි බව දැන් පැහැදිලිය. වාහන ආනයනය කරන්නට ධනවතුන්ට, දේශපාලකයන්ට හා ඉහළ නිලධාරීන්ට කොයිතරම් අවශ්‍ය වුණත්, දැන් ඒ සඳහා ඩොලර් ද නැත.

පවත්නා තත්වය තුළ, ලබන අවුරුද්ද ඇතුළත ශ්‍රී ලංකා රජය විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත්භාවයට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. පසුගිය කාලයක් තිස්සේම රජය පවත්වාගෙන ගියේ ණය මතය. රාජ්‍ය ආදායම් අඩුවීම හේතුවෙන් 2020 වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා වැය වූ මුදල රාජ්‍ය ආදායමෙන් 77%ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගිය බව මහබැංකු වාර්තා පෙන්වාදෙයි. රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙනි. රජය බංකොලොත් වීම කොයිතරම් බරපතල ප්‍රශ්නයක් වනවාද යන්න එයින් තේරුම්ගත හැකිය.

මේ අතර, පවුල් දාහත් ලක්ෂ පනස්දහසකටම රජය සමෘද්ධි සහනාධාරය ලබාදෙයි. එම දිළිඳු පවුල්වල පැවැත්ම රඳාපවතින්නේ ද රජය මතය.

කෘෂිකර්මාන්තය පවත්නා ක්‍රමයෙහි ඉතා වැදගත් අංශයකි. ලක්ෂ 20ක් පමණ ජනයාගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය බීජ, යන්ත්‍රසූත්‍ර, ඉන්ධන, පලිබෝධ නාශක ආදී බොහෝ දේ ආනයන වේ. ශ්‍රී ලංකාවෙන් සැපයෙන්නේ හිරු එළිය, ජලය හා ශ්‍රමයයි. කෘෂිකර්මාන්තයේදී මූලික වන වී ගොවිතැන සඳහා ලබාදුන් පොහොර සහනාධාරය නතර කිරීමත් සමග ඉදිරියේදී රටේ ආහාර නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් අපේක්ෂා කළ හැකිය. එවැනි තත්වයකදී ආහාර ආනයනය කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව තිබේද?

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ ක්‍රමයේ පදනම නිර්මාණය වන්නේ හා එය පවතින්නේ මේ අන්දමටයි. මෙරට දේශපාලනය ගොඩනැගී තිබෙන්නේ එම පදනම මතයි. දැන් එම පදනම දෙදරා කඩාවැටෙමින් තිබේ. එම නිසා පවත්නා දේශපාලන ක්‍රමය ද බිඳවැටෙන බව අමුතුවෙන් කිවයුතු නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාජ්‍ය මූල්‍ය කොන්දේසි ද එක්තරා ආකාරයකින් මෙම ක්‍රමය පදනමින්ම වෙනස් කිරීමට ඉවහල් වනු නිසැකය. එහෙත්, අප හමුවේ තිබෙන එකම විසඳුම එයද? නැත. තවත් විසඳුම් තිබේ. ඒවා සමස්ත ක්‍රමයේම උඩු යටිකුරු කිරීමක් ඉල්ලා සිටින විසඳුම්ය.

අජිත් පැරකුම් ජයසිංහ

praja

Related posts