derana news today

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.

අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්, යතුරුපැදි, සුපිරි නිවහන් හා ඉඩ කඩම් පවා තිබෙන බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම අරුම පුදුම තෝරා ගැනීම පිළිබදව එම දරුවන් ද විමතිය පළ කරමින් මෙසේ පැවසූහ.

“අපේ අම්මා තනියම හිටියට අපිත් එක්ක එක මිදුලේ ම තමයි අම්මත් ඉන්නේ. සින්නක්කර පොල් ඉඩම්වලින් හා කුඹුරුවලින් එන ආදායමත් තනිය ම ගන්නෙත් අම්මා. ඒ වාගේ ම අම්මාට ස්ථාවර බැංකු ගිණුම් දෙකක් තියෙනවා. ඒවායින් මාසිකව එන ආදායම ඇතැම් රජයේ සේවක වැටුපටත් වඩා වැඩි විය හැකි යි. අම්මා ඒ ලැබෙන ආදායම අරන් දඹදිව වන්දනාවට පවා ගියා. එවැනි සුවපහසු දිවියක් ගත කරන අපේ අම්මාට රජයෙන් දෙන පන්දහසක අස්වැසුම අවශ්‍ය නැහැ. අපේ අම්මා එවැනි ආධාර ගන්න තත්ත්වයකට ඇද වැටිලා නැහැ.

නමුත් අපේ අම්මා මේකට තෝරාගත් අරුම පුදුම කමිටුව කවුද කියලා අපිටත් දැන ගන්න අවශ්‍යයි. ඇත්තට ම සැබෑ සුදුස්සෝ ඉද්දිත් මේක අපේ අම්මාට දීම හරි ම අසාධාරණයි.

ඒ නිලධාරීන්ට එරෙහිව පරික්ෂණයක් කරන්න කියලා තමයි අපිත් කියන්නේ.”

ඒ සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.කේ. රත්නායක ද අදහස් දක්වන ලදී.

“වගකිවයුතු නිලධාරීන් මෙම වැඩසටහනින් මුලින් ම ඉවත්ව ගියා. ඊට පස්සේ ඒ වෙනුවට සමීක්ෂණවලට පැමිණි අයට මේ අය බොරු දත්ත දෙන්නට ඇති. ඒ අය යැවූ දත්තවලට අනුව සුදුස්සෙක් බවට අමාත්‍යංශ මට්ටමින් තෝරන්න ඇති.

මොනා වුණත් මේක පළමු තේරීමත්, අවසාන තේරීමත් නෙමෙයි. ඒ සඳහා අභියාචනා හා පෙත්සම් ඉදිරිපත් කරන්නට ජනතාවට අවස්ථාව දුන්නා. ඉදිරියේදී ඒවා විභාගයේදී නුසුදුසු අය ඉන්නවා නම් ඒ අය ඉබේට ම ඉවත්ව යාවි යැයි,” හෙතෙම පැවසීය.

පොල්පිතිගම – නන්දන

Similar Posts