බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය.

හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර, හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට මෙක්සිකානු විදේශ අමාත්‍යවරයා ද එක්ව සිටියේය.

මොරාලෙස් බොලිවියාවෙන් පලා ආවේ 14 වසරක් වූ වාමාංශික පාලනය අවසන් කරමිනි. මැතිවරණයේදී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව ඇමරිකානු රාජ්‍ය සංවිධානය (ඕඒඑස්) ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් විය.ඉන් අනතුරැව  බොලීවියාවේ සෙනෙට් සභාවේ ප්‍රධානී ජෙනින් ඇනෙස් ​​අඟහරුවාදා අතුරු ජනාධිපති ධුරයට පත්විය.

මේ අතර මොරාලෙස් ගුවන්යානාවට ගොඩවීමට පැමිණි ගුවන්තොටුපොළ කුමන්ත්‍රණකරුවන් වටකළ බැවින් යානාව පැමිණීම ප්‍රමාද වූ බව මාධ්‍ය අමතමින් මෙක්සිකෝ විදෙස් ඇමතිවරයා පැවසුවේය.

යානාවට ඉන්ධන පිරවීමට පේරු රාජ්‍යය වෙත ගොඩබැස්සවීමට සූදානම් වුවත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බැවින් ඉන්ධන සදහා පැරගුවේ වෙත යාමට සිදුවූ බවත් මෙහිදී වැඩිදුරටත් සදහන් වුණි.

Similar Posts