රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ නිසා නැවතත් වැටුණු රටේ අවුරුදු සැමරීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රාජකාරී ආරම්භ කිරීමට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවසීය:

“පසුගිය අවුරුදුවලට වඩා 2024 අවුරුද්ද ජනතාවට සතුටින් සමරන්න හැකි වුණා. භාණ්ඩ මිල අඩු වුණා. ජනතාව අතට මුදල් ආවා. එළවළු මිල අඩු කරන්න හැකි වුණා. සේවා සපයන්න හැකි වුණා. අලුත් අවුරුදු සමරන්න හැකියාවක් වර්තමාන ජනාධිපතිවරයා උදා කළා. වැටුප් රු. 10,000කින් වැඩි කළා. විශ්‍රාම වැටප රු. 2,500කින් වැඩි කළා. අස්වැසුම දුන්නා. ඉදිකිරීම් කර්මාන්තය වෙනුවෙන් කෝටි 2000 සහන පොලී ණයක් දුන්නා. නාගරික නිවාස දුන්නා. බංකොලොත් රටක් මෙන්ම වැටුණු රටක් ගොඩ ගන්න කටයුතු කළා.

“විපක්ෂය හැම දේම දකින්නේ වැරදියටයි. ඉදිරියේදී සහල් කිලෝ 20ක් දෙන්නෙ ඡන්දය බලාගෙන නොවෙයි. කඳුකර දශකය සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේත් ඡන්දය බලාගෙන නොවෙයි; දුප්පත්කමින් ඉන්න ජනතාවට සහන දෙන්නයි. රට වැටුණු වෙලේ විපක්ෂ නායකයා රට භාර ගත්තේ නැහැ; ආර්ථික සැලසුම් ඉදිරිපත් කළේ නැහැ. ලෝකයේ රටවල් වැටුණාම අභියෝගය භාර ගන්නේ විපක්ෂයයි. එහෙත් ඔහු කළේ පැනලා ගිය එකයි. ජනාධිපතිවරණය පරාජය වුණු වෙලෙත් විපක්ෂ නායකවරයා හොයාගන්න බැරි වුණා. මාසයක් යනකං ඔහු හිටියෙ යාල.

“ආර්ථික විවාදය ගැන සාකච්ඡා කරන්න අනුර සජිත් වාඩි වෙන්නෙ නැති වුවත් මේ රටේ ආර්ථිකය ඉදිරියට යන සාකච්ඡාවක් සිදු වන්නෙ නැහැ. ආර්ථික විවාද කෙසේ වෙතත් ඒ අයගේ ගෝල බාලයෝ නම් විවිද විවාද කරයි. විපක්ෂයේ විවිද පිරිස් එජාපය සමග සාකච්ඡ කරමින් ගනුදෙනු කරමින් ඉන්නවා. මොකද: ඔවුන් දන්නවා මේ රට ඉස්සරහට ගෙනයන්න පුළුවන් නායකයා ඔහුයි කියලා. දමිළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වෙනවා. ඒක වළක්වන්න බැහැ. විවිධ කණ්ඩායම්, පුද්ගලයන් ජනාධිපති මන්දිරයට, ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයාව මුණගැහෙන්න පැමිණෙනවා. අපට ඒක දකින්න ලැබෙනවා. සන්ධානයක් හැදෙන උච්චතම අවස්ථාවේ මේ සියලු දෙනා ඔහු සමග එකතු වනවා. ඒ අවසන් ප්‍රතිඵලය අපට ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි” යැයි පැවසීය.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෝ පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Similar Posts