43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය:

ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද?

පිළිතුර:

අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ පෙරමුණ නමින්. ඒ පිළිබඳ උන්වහන්සේලාට දැනුවත් කරන්නත්, ආරාධනා කරන්නත් තමයි පැමිණියේ. ඉතින් අපි උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ නැහැ මහා නායක ස්වාමීන් වහන්සේලා හැටියට. නමුත් අපි ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කරන්න පෙර, ඒ පිළිබඳ සිරිතක් හැටියට මහා නායක ස්වාමීන් වහන්සේලාට මුල් වතාවට ආරාධනා කළා.

ප්‍රශ්නය:

පක්ෂ විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා. නව පක්ෂයක අවශ්‍යතාවක් තියෙනවා ද?

පිළිතුර:

ඔව්. පැහැදිලිව ම තියෙනවා. මොකද රට බංකොලොත් වෙනවත් එක්ක ම රටේ පැවති දේශපාලන පක්ෂත්, දේශපාලන ක්‍රමයත් බංකොලොත් වුනා. ඉතින් නව පිරිසකට වේදිකාවක් අවශ්‍යයි. ඊයේ පැවති තායිලන්ත මැතිවරණයෙන් සම්ප්‍රදායික පක්ෂ අතු ගෑවිලා ගිහින්, නව තරුණ, අලුත් දේශපාලන ව්‍යාපාරයක් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගත්තා. මේ රටෙත් ඒ දේ වෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩිහිටි, අත්දැකීම් සහගත පිරිස හැටියට හා රටට මේ තත්ත්වය ගැන කලින් ම අනතුරු අඟවපු පිරිසක් හැටියට අපේ වගකීමක් කියලා අපි හිතනවා වේදිකාවක් තනන එක. ඒ වේදිකාව තැනීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය:

කවුද ඔබගේ පක්ෂයට සම්බන්ධ වෙන්නේ?

පිළිතුර:

ඒක එදාට දැන ගන්න පුළුවන්.

ප්‍රශ්නය:

මේ වන විට මේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් දිගින් දිගටම කැඩිලා යනවා රනිල් වික්‍රමසිංහ මහතා ගාවට. මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?

පිළිතුර:

ඒක ඉතින් ඒ පක්ෂයෙන් උත්තර දෙයි. ඒකට මම උත්තර දෙන්න ඕන නැහැ.

ප්‍රශ්නය:

අපි දැක්කා විශේෂයෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව. පොහොර නැවට සල්ලි ගෙව්වා. දැන් අපේ මුහුදත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, ඒ වන්දි මුදල ලබා ගන්න බැරි වෙලා තියෙනවා. මේ 225 ම එහාටයි මෙහාටයි අලුත් පක්ෂ නිර්මාණය කරනවා. ආයෙත් පක්ෂ වලට එකතු වෙනවා. මොකක්ද මේ වෙන්නේ..?

පිළිතුර:

දැන් ඉතින් නැව එපා කියද්දී ගිල්ලුවේ 225 ම නෙමෙයි නේ. ඒක කළේ ගෝඨාභය රාජපක්ෂ. ඒක කියන්න අපි බය වෙන්න ඕනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු වටා හිටපු පිරිස තමයි ඒක කළේ. ඒකට 225 වගකියන්න ඕන නැහැ. ඉතින් අද මේ රටේ තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි මේ සමහර රාජපක්ෂලාගේ නම් කියන්න බයයි. ඒක හින්දා මේ 225ට මුවා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි කටාර් රාජ්‍යයෙන්, ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කරපු නැව ගෙනාවේ. ඒ වගේ ම ඒ අවස්ථාවේ ඩයමන්ඩ් නැවටත් ඒ දේ ම කළා. මොකක්ද? අන්තර්ජාතික මුහුදු සීමාවට ඇදගෙන ගිහිල්ලා මේ වන්දියෙන් ගැලවෙන්න හැදුවා. නැව දෙකට කැඩිලා, ගිලුණා. ඉතින් ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනේ. හැබැයි අපි හිතන්නෙ නෑ දැන් මේකට වන්දි ගන්න පුළුවන් වෙයි කියලා. මොකද එංගලන්තයේ මේ පිළිබඳ වන්දි නඩුවක් පවරලා මේ වෙන කොට ඒ පිළිබඳ තීන්දුවත් ඒ අදාළ රක්ෂණ සමාගමට දීලා ඉවරයි. අපි ඉල්ලනවා ඩොලර් මිලියන 6400 ක්. හැබැයි ඩොලර් මිලියන 20 ට ආසන්න ප්‍රමාණයක් තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන් ම මේවා මේ රට රවට්ටන විහිළු. අපි හිතන්නෙ නෑ මේකත් තවත් එක අතීතයට එකතු වූ, අපේ මහ පොළොවට කරපු අපරාධයක්. ඒ වගේ ම මහ සාගරයට කරපු අපරාධයක් හැටියට යනවා. හැබැයි මේකට අනිවාර්යයෙන් ම දවසක ජනතාවගේ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා.

ප්‍රශ්නය:

ඔබගේ නව දේශපාලන පක්ෂය හරහා බලාපොරොත්තු වෙන්නේ මීළඟ ජනාධිපතිවරණය ද..?

පිළිතුර:

නෑ ඒත් ජනාධිපතිවරණයේ දී මේ අලුත් පරපුර දිනවන්න ඕන. පරණ පවුල්වල ඒ වගේ ම රාජ්‍ය දේපළ මංකොල්ල කාපු සල්ලි වලින් කරන දේශපාලනය වෙනුවට නව පරපුර දිනවන්න තමයි අපේ බලාපොරොත්තුව.

ප්‍රශ්නය:

ඔබට පක්ෂයක් තියෙනවා දැන්..?

පිළිතුර:

අපි ඒ සියලු දෙනා ම එකතු වෙලා තමයි මේ නව දේශපාලන පෙරමුණ ඇති කරන්නේ.

ප්‍රශ්නය:

ඒ කියන්නේ පවතින රජයන් වලට මුක්කු ගහන්න නෙමෙයි ද?

පිළිතුර:

පවතින රජයන්ට අපි මුක්කු ගහන්නේ නැහැ. අපි මුක්කු ගහලත් නැහැ. අපි සන්ධාන ගත වුන හැම වෙලාවෙ ම මේ රටට ජයග්‍රහණ අරන් දීලා තියෙනවා. තිස් අවුරුදු යුද්ධය අපි නැත්නම් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ ම මහින්ද රාජපක්ෂ කවදාවත් අපි ඉදිරිපත් නොවුනා නම් පරාජය වෙන්නේ නැහැ. ඒ වගේ අපි මේ රටට රාජ්‍ය ආයතන කරන හැටි, රාජ්‍ය ආයතන ලාභ කරන හැටි, රාජ්‍ය ආයතන දූෂණයෙන් තොර ව කරන හැටි ගැන ආදර්ශයක් දීපු අය.

ප්‍රශ්නය:

රට විශාල ණය උගුලක හිර වෙලා තියෙන්නේ. උපදින්න ඉන්න දරුවා පවා ලක්ෂ ගණනකින් ණය වෙලා තියෙනවා. ඉතින් ඔබ පක්ෂයක් ආරම්භ කරලා යම්කිසි ආකාරයක රට මේ පවතින තත්වයෙන් ගොඩ ගන්න ඔබගේ සැලසුමක් තියෙනවා ද?

පිළිතුර:

පැහැදිලිව ම. අපි රාජ්‍ය ආයතන වැටුණ රාජ්‍ය ආයතන ගොඩනැගුව නේ. ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය වගේ ණය බරෙන් බිඳ වැටුණ රාජ්‍ය ආයතන ගොඩනගපු අය නේ. ඒ වගේ ම මේ ණය බරින් මිදුණ රට ගොඩනගන්න අපි ට පුළුවන්. ඒක 2048 වෙනකන් යන්නේ නැහැ. ඒක ඊළඟ අවුරුදු 3 දී ගොඩනගන සැලැස්ම අපි 22 වෙනිදා ඉදිරිපත් කරනවා.

ප්‍රශ්නය:

ජනතාව විශ්වාස කරයි ද ඔබගේ පක්ෂය?

පිළිතුර:

ඒක ජනතාව අතරට අපි යන ප්‍රමාණය, ජනතාවගේ මතය. අපි විශ්වාස කරනවා ජනතාව, අපි වැඩ කරපු පිරිසක්; අපි එහෙම වැඩ කරලා පෙන්නපු කණ්ඩායමක්. නිකම්ම නිකම් කතා කාරයෝ ටිකක් නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ පිළිබඳ, ඒ අපේ නව කණ්ඩායමට ජනතාව ඉඩකඩ ලබා දෙයි කියලා.

ප්‍රශ්නය:

පාර්ලිමේන්තුවේ මේ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා විනා, වෙනම නීතිමය කටයුතු කිරීමක් වත්, මොකවත් අපට පේන්නේ නෑනේ.

පිළිතුර:

අපි බලයේ ඉන්න කාලයේ අපි කරලා පෙන්නුව නේ. දැන් මේ මහනුවරට වගේ ම මේ රටේ ම ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කළා නේ. අද කොළඹ කුණු ප්‍රශ්නය ගැන කවුරු වත් කතා කරනවා ද? කොළඹ කුණු කඳු ගැන කවුරු වත් කතා කරනවා ද? කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර ගැන අද කවුරුත් කතා කරනවා ද? අපි ඒ ප්‍රශ්න විසඳපු නිසා නේ.

ප්‍රශ්නය:

අද අලුත් ත්‍රස්ත, ප්‍රති ත්‍රස්ත පනත් අයින් කරලා, තවත් මේ පනතක් ගේන්න යනවා යම් කිසි මට්ටමකින් මාධ්‍ය වාරණය කිරීම, ඒ කියන්නේ මාධ්‍ය මෙල්ල කර ගැනීමට උත්සාහ කරනවා යි කියලා සමාජයේ කතාවක් යනවා. මේ පිළිබඳ ඔබගේ අදහස මොකක්ද?

පිළිතුර:

ත්‍රස්තවාදය වැළැක්වීමට පනත් අවශ්‍යයි. හැබැයි ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීමට, ඒවා අවභාවිත කිරීමට තරම් මේ විදිහේ පනත් ඉදිරිපත් කිරීමට අපි විරුද්ධයි.

ප්‍රශ්නය:

ඔබගේ පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ වැඩ වලට උදව් කරනවා ද?

පිළිතුර:

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විතරක් නෙවෙයි. විපක්ෂ නායකතුමාටත්, අනිත් අයටත් අපි හිතන විදියට යන සුදුසු දේවල් රටේ ඉදිරි ගමනට යන්න සුදුසු දේවල් වලට අපි උදව් කරනවා.

Similar Posts