විදේශ ගත ශ්‍රමිකයන්ට ලබාදුන් සහනයක් උපයෝගී කරගනිමින් විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්නවා තිබීමේ සිදුවීමක් පසුගියදා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් හෙළි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය විසින්  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මේ සඳහා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා ඇතුළු සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධ විය.

එහිදී ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා දැක්වූ අදහස්..

“අපි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ආවා පැමිණිල්ලක් දාන්න පහුගිය දවසක ක්‍රම සහ විධි කාරක සභාවේ මතුවෙච්ච කාරණාවක් සම්බන්ධයෙන්. ගිය අවුරුද්දේ, ලංකාවේ විදේශ විනිමය බොහොම අඩුවෙලා තිබ්බ මොහොතක, රජයෙන් යෝජනාවක් ගෙනාවා විදේශ ගත ශ්‍රමිකයන්ට තමන් ලංකාවට එවන ඩොලර් වල ප්‍රමාණය අනුව තීරු බදු සහන යටතේ විදුලි වාහන මිලදී ගැනීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන්න. මේක ක්‍රියාත්මක වුණේ කම්කරු අමාත්‍යංශයේ විදේශ රැකියා අංශය යටතේ. නමුත් මෙතනදි එළියට ඇවිත් තියෙනවා කාරණාවක් මේ වෙනකොට බිලියන 1.2 වගේ වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී විදුලි වාහන 119 ක් මිලදී අරගෙන තියෙනවා. මේ වාහන 119 න් 75 ගෙනත් තියෙන්නේ එකම ආයතනයක් විසින්. මෙතනදි මොකක් හෝ අයථා ගනුදෙනුවක් සිද්ධ වුණාද? මේ සම්බන්ධයෙන් තමයි අපි අද පැමිණිල්ල කළේ.”

මෙතනදි විදේශ ශ්‍රමිකයන්ට අසාධාරණයක් වෙනවද?

විදේශ ශ්‍රමිකයන්ට උරුම දේ ලබාගන්න හැකියාවක් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම රජයට අලාභයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක අය කරගන්න අවශ්‍යයි. සුදු කරපටි මංකොල්ලකාරයෝ, දේශපාලඥයෝ සහ රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් මේකට සම්බන්ධ වුණා නම් අපි හැමදාමත් කියනවා වගේ ලංකාවේ අක්‍රමිකතාවය, නාස්තිය, අකාර්යක්ෂමතාවය, ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙච්ච යම්කිසි පුද්ගලයින් සිටිනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න විදිහටත්, අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න කියලත් අපි ඉල්ලා හිටලා තියෙනවා.

දැන් මේකෙදි වංචාවක් වෙලා තියෙනවා කියලා හඳුනාගෙන නැද්ද?

වංචාවේ ප්‍රමාණය සම්බන්ධව හඳුනාගැනීම තමයි අපි ඒගොල්ලන්ට භාර කරපු කාර්ය. මොකද ඒගොල්ලන්ට තියෙන වරප්‍රසාද යටතේ පුළුවන් මේ ගැන පැහැදිලි පරීක්ෂණයක් සිදු කරන්න. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා මේ සම්බන්ධව විමසන්න, කවුරුහරි විදේශගත ශ්‍රමිකයෙක් තමන්ට වාහනයක් ලබා ගැනීම සඳහා විමසන කොට ලබාදෙන්නේ එකම පුද්ගලයෙකුගේ නමක් කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ ගැනත් අපි සඳහන් කරලා තියෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණ මං හිතන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් සිදු කරාවි කියලා.

එතකොට දැන් මේකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්බන්ධතාවයක් තියෙනවාද?

මේකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නෙ නෑ. මොකද කම්කරු අමාත්‍යංශය යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.

නදීෂ ද සිල්වා
කැඳවුම්කරු – ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය

Similar Posts