uk-sl

රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා.

කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර ඔවුන්ට පහර දී නියපොතු ද ඉරා දමා ඇති බවයි.

එසේ ම එම මාධ්‍යවේදිනිය වැඩි දුරටත් සඳහන් කරන්නේ, වයස අවුරුදු 20 – 40 අතර වයස්වල පසුවන මෙම පිරිස අතර පිරිමි පුදගලයන් 6ක් සහ එක් කාන්තාවක් වන බවත්, ඔවුන් යුක්‍රේනය බලා පැමිණ ඇත්තේ ආක්‍රමණයට පති තුනකට පමණ පෙර බවයි.

මෙම පිරිස කුපියන්ස්ක් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සිට ඇති අතර, කාර්කිව් වෙත පලා යාමට උත්සාහ කරන තෙක් ඔවුන් එම නිවෙසේ වාසය කර තිබෙන බව පවසන ඇය වැඩි දුරටත් කියා සිටින්නේ, ඔවුන් කාර්කිව් බලා පැන යන අතරතුර පළමු රුසියානු මුරපොලේ දී ඔවුන් රුසියානු හමුදා භාරයට පත්ව ඇති බවයි.

මේ අතර රුසියානුවන් ඔවුන්ගේ ඇස් බැඳ නාඳුනන දිශාවකට ගෙන ගිය බව ද ඇය පවසනවා.

අනතුරුව යුක්රේනය විසින් එම ප්‍රදේශ මුදාගැනීමෙන් පසු අදාල ශ්‍රී ලාංකිකයින් 7දෙනා නැවතත් කාර්කිව් වෙත පා ගමනින් යාමට උත්සාහ කළ බව කියන මාධ්‍යවේදිනිය වැඩිදුරටත් අනාවරණය කරන්නේ, ඔවුන් කාර්කිව් වෙත යන අතරතුර වූ හෝටලයක ආරක්ෂක නිලධාරියෙක් විසින් ඔවුන්ට රැකවරණය දී ඔවුන් සම්බන්ධයෙන් පොලිසිය වෙත දැන්වූ බවයි.

තව ද මෙම ශ්‍රී ලාංකිකයින් 07 දෙනා නිරුපද්‍රිතව සිටින බව පවසන මාධ්‍යවේදිනිය වැඩිදුරටත් කියා සිටින්නේ, කාර්කිව් ප්‍රදේශයේ පොලිසිය අදාල නඩුව විභාග කරන බවයි.

මෙම ශ්‍රී ලාංකිකයන් හත් දෙනා සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දා යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ද ප්‍රකාශයක් නිකුත් කළා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු TASS පුවත් ඒජන්සිය සඳහන් කරන්නේ, යුක්රේන හමුදාව ශ්‍රී ලංකාවේ සිසුන් හත් දෙනෙකු රඳවාගෙන ඔවුන් නො දන්නා ගමනාන්තයකට රැගෙන ගොස් ඇති බව කලාපයේ හමුදා සිවිල් පරිපාලන ප්‍රධානී විටාලි ගන්චෙව් පවසන බවයි.

“Kupyansk වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලංකාවේ පුරවැසියන් හත් දෙනෙකු රඳවාගෙන නාඳුනන ගමනාන්තයකට ගෙන ගොස් තිබෙන අතර යුක්‍රේන විශේෂ සේවා භාවිතා කරන කුප්‍රකට ක්‍රම අනුව, Kharkov හි හමුදා-සිවිල් පරිපාලනයට එරෙහි ප්‍රකෝප කිරීම් අපි බැහැර නො කරමු” යනුවෙන් විටාලි ගන්චෙව් පැවසූ බව TASS පුවත් ඒජන්සිය සඳහන් සඳහන් කරනවා.

මේ අතර යුක්රේන හමුදා සහ විදේශීය කුලී හේවායන් ඔවුන්ගේ පාලන කලාපයේ සිවිල් වැසියන්ට වධහිංසා පමුණුවා වෙඩි තබන බව ගන්චෙව් මීට පෙර පැවසූ අතර Izyum, Kupyansk, Veliky Burluk සහ Volchansk ඇතුළු බොහෝ ස්ථානවල මෙය සිදුවෙමින් පවතින බව ඔහු අවධාරණය කරන බව TASS පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

hirunews

Similar Posts