ranil

දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඔහු සඳහන් කළේ, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් බව ය.

“ලෙඩා ගොඩ ගත් වහා ම තවත් පියවරක් ගන්නවා. තවත් මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අහුරා දැමීම. මේ අරමුණින් අපි දූෂණය මැඩලීමේ පනතක් ගෙන ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන් සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය මේ පනතට ඇතුළු කරන්න අපි පියවර ගන්නවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්.”

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටී තියෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගන්න” යැයි ද පැවසීය.

2023 වසර අවසන් අවසන් වන විට උද්ධමනය “තනි ඉලක්කමකට” ගෙන ඒමට පියවර ගන්නා බව ත් 2026 වසර වන විට රටට බංකොලොත් තත්ත්වයෙන් මිදීමට හැකි බව ත් ඔහු එහිදී සඳහන් කළේ ය.

“මාස 5ක් 6ක් කෙටි කලක් මේ අමාරුව විඳදරා ගත්තොත් විසඳුමක් වෙත යන්න පුළුවන්. මෙහෙම ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වන හතරවන කාර්තුව වෙද්දී රාජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් දෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයේ සේවකයින්ට සහන දෙන්න පුළුවන්. රටේ ම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා අදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළී අඩු කරන්න පුළුවන්. තව අවුරුදු 3ක් ගත වෙද්දී අද ලබන ආදායමට වඩා 75%කට වඩා වැඩි අදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.”

Similar Posts