ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඊයේ(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාළගමුව එම තරගයට සහභාගී වී තිබුණි.

ඩිලන්ත මාළගමුව අද උදෑසන 08.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ඩිලන්ත මාළගමුව මහතාගේ මිතුරන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 08 ක් යුරෝපයේ සහ තවත් මෝටර් රථ ධාවන තරග 02 ක් සදහා වශයෙන් මෝටර් රථ ධාවන තරග 10 ක් ඉතිරිව ඇති බවත් ඒවාට හොදින් පුහුණු වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් පැවසීය.

Similar Posts