එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

wheelbarrow

පළමු කොරෝනා රැල්ලේදී මුළු රට පුරාම මාස දෙකකට වැඩි කාලයක් පුරාම ඇඳිරි නීති පැනවීමට ශ්‍රී ලංකාවෙ ආණ්ඩුව කටයුතු කළේය. එයින් ආර්ථිකයට හා ජන ජීවිතයට අතිවිශාල හානියක් සිදුවිය. රජය සමෘද්ධි අරමුදල් භාවිතා කරමින් දිළිඳුභාවයට පත් ජනයාට රු. 5,000 බැගින් කිහිප වරක් පිරිනැමුවේය. කෙසේ වෙතත්, ආණ්ඩුව මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට පළමු රැල්ල මර්දනය කරගැනීම ද හේතු විය.

2020 ඔක්තෝබර් මාසයේදී පමණ පැනනැගුණු දෙවෙනි කොරෝනා රැල්ල සමයේ ආණ්ඩුව වඩා නිර්භීත වෙමින් සීමිත ඇඳිරි නීති හා සංචරණ සීමා පනවමින් කොවිඩ්-19 සමග ජීවත් වීමේ නව සාමාන්‍ය තත්වයක් ප්‍රවර්ධනය කළේය. ඒ අනුව, පාසල් පවා විවෘත කරන ලදී.

2021 සිංහල අලුත් අවුරුදු සමයේ රජයේ පාලනයෙන් තොරව ජනතා ඒකරාශී වීම් සිදුවූ අතර ඒ සමගම තුන්වන රැල්ලක් පැනනැගිණි. ඒ වනවිට වසංගතය සමාජය තුළ ව්‍යාප්තව තිබුණු අතර තුන්වන රැල්ලෙහි රෝගීන් වාර්තා වීම හා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියේය. තුන්වන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම සඳහා සති දෙකක අගුලුලෑමක් කළ යුතු බව වෛද්‍ය සංවිධාන ගණනාවක් සහ ඔවුන්ගේ මතය ප්‍රවර්ධනය කරන පිරිස් විසින් රජයට දිගින් දිගටම බලකරන ලදී. එයට විරුද්ධ වීමට බොහෝ අයට කරුණු නොමැති වුව ද, රටේ බහුතරයක් දෙනා එයට අකැමැති බව ස්ථාවර අගුලුලෑමෙහි ආරම්භක දිනය වන 2021 මැයි 25දා ජනතාව හැසිරුණු ආකාරයෙන් ඉතා පැහැදිලිය.

ජනතාව ආණ්ඩුවේ නියෝගය පයිසෙකට මායිම් නොකළ අතර සංචරණ සීමා විවෘතවම උල්ලංඝනය කළහ. වාහනවලින් යන්නට එපා කියා තිබියදී නගරවල වීදි අතුරු සිදුරු නැතුව පිරී ගියේය. වාහන ගාල් කිරීමට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුව ද රථගාල් ද පිරී ඉතිරී ගොස් තිබිණි. රජයේ රෙගුලාසි උල්ලංඝනය සිදුවූ පරිමාණය අනුව පොලිසියට කරන්නට කිසිවක් නොතිබුණු අතර, ඔවුහු පොලිස් ස්ථාන තුළට පසුබැස්සහ. ජනතාව මහා විරෝධතාවක් දැක්වූ බව ද පොලිසිය එයට අනුග්‍රහ දැක්වූ බව ද රහසක් නොවේ. මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ රජයේ වාහන තහනමට අනුව නීත්‍යානුකූලව කටයුතු කළ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් ගෙන එන්නට යන ආකාරයයි. මේ ආකාරයෙන් වීල්බැරෝවකින් බඩු ගෙන ගිය ධර්ගා නගරයේ පුද්ගලයකු මුඛ ආවරණ පැළඳ නොසිටියේය යන චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ වියරුව ප්‍රදර්ශනය කරමිනි.

ලොක්ඩවුන් මගින් වසංගතය සාර්ථක ලෙස පාලනය කළ හැකි බවට තිබෙන මතය යල්පැනගිය එකක් බවට පර්යේෂණ වාර්තා පළවී තිබේ. අගුලුලෑම් වැඩක් නැති බවක් එයින් කියවෙන්නේ නැත. ඒ සම්බන්ධයෙන් කියැවෙනුයේ අගුලුලෑම් වැනි ඖෂධවේදීමය නොවන ක්‍රියාමාර්ග වඩාත් සාර්ථක වන්නේ එන්නත් හා ප්‍රතිකාර වැනි ඖෂධවේදී ක්‍රියාමාර්ග සාර්ථක කරගන්නා තෙක් කල්ගැනීම සඳහා බවයි. දීර්ඝ හා දැඩි අගුලුලෑම් නිසා, ජන ජීවිතයට, ජීවනෝපායට, මනසට, රැකියාවලට, සම්බන්ධතාවලට, ආර්ථිකයට ආදී වශයෙන් සිදුවන දැවැන්ත බලපෑම හේතුවෙන් ඇතැම් පර්යේෂකයන් යෝජනා කරන්නේ කෙටි හා දැඩි අගුලුලෑම් පමණි. ඒවාද යෝජනා කරන්නේ ලංකාව වැනි එන්නත් ලබාගත නොහැකිව කල්ගත කිරීමට සිදුවී තිබෙන දිළිඳු රටවලටය. මේ වනවිට අගුලුලෑම්වල සාර්ථකත්වය අඩුවෙමින් තිබේ. කොවිඩ්-19 සඳහා එන්නත්කරණය හා ප්‍රතිකාර සම්පාදනය සඳහා වැඩි අවධානයක් යොමුවිය යුතුය.

මෙම පර්යේෂණ වාර්තාව කියවන්න:

Lockdown fatigue: The declining effectiveness of lockdowns

ලොක්ඩවුන්වල සාර්ථකත්වය පිළිබඳ තර්ක කරන මෙම ලිපියෙහි වුව සඳහන් වන්නේ ඒවා සාර්ථක වන්නේ එන්නත්කරණයට උත්ප්‍රේරකයක් ලෙස බවයි:

The mathematics of multiple lockdowns

මෙවැනි තවත් බොහෝ අධ්‍යයන තිබිය හැකිය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අගුලුලෑම් පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීමයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සති දෙකක් ලෙස යෝජනා කළ අගුලුලෑම ගැන දැන් ඇතැමෙකු කතාකරන්නේ මාසයක අගුලුලෑමක් අවශ්‍ය බව කියමිනි. එහෙත්, ජනතාව එයට අකැමැති බව පමණක් නොව, ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ද අද පළ කළහ. බොහෝ දෛනික වැටුප් ලබන කම්කරුවෝ රජයේ නියෝග නොතකා අද රැකියාවලට පවා ගියහ.

දීර්ඝ අගුලුලෑමකින් ආණ්ඩුවට යම් යම් වාසි ද ලැබිය හැකිය. උදාහරණයක් ලෙස වාහන ගමනාගමනයෙන් 80%ක්වත් අඩුකරගතහොත්, රටේ දෛනික තෙල් බිලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන පහක් ඉතිරි කරගත හැකි බව ද, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය අඩුවීමෙන් (නිෂ්පාදනය වැනි) ආනයන වියදමෙන් ඩොලර් මිලියන පහක් ද ඉතිරි කරගත හැකි බව ලංකා බිස්නස් ඔන්ලයින් වෙත ලිපියක් සම්පාදනය කරන ‘විශේෂඥයෙක්’ පවසා තිබිණි. එමගින් රු. 5,000 බෙදන්නට ද පුළුවන.

පටු චින්තනයක් මත පදනම් වන මෙවැනි ක්‍රියාමාර්ගවලින් රටේ නිෂ්පාදන කර්මාන්තවලට සිදුවන හානිය යථා තත්වයට පත්කරගැනීම පහසු නැත. එසේම, දැඩි සංචරණ සීමා පැණවීමට ලංකාවට නොහැකි එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ වන විට පොලිසියේ තිබෙන තත්වයයි.

පොලිසියෙන් අඩකට වැඩි කාඩරයක් කරන්නේ සිවිල් රාජකාරි නොව, ප්‍රභූවරුන් ආරක්ෂා කිරීම බව මීට මාස කීපයකට කලින් කීවේ පොලිසිය භාර ඇමති සරත් වීරසේකරය. මේ වන විට පොලිසිය යනු කොවිඩ් වැළඳීමෙන්, නිරෝධායනය වීමෙන්, අධික ලෙස වැඩකිරීමෙන්, පහසුකම් නැතිකමින් හා සේවයට සරිලන ප්‍රතිලාභ නොලැබීමෙන් අධික ලෙස විඩාවට හා කලකිරීමට පත් පිරිසකි. මානසික ජවයක් නොමැති පොලිසියකින් ගන්නට බැරි වැඩ සිවිල් රාජකාරි නොදන්නා හමුදාව යොදා කරන්නට ගියොත් ඇති වනු ඇත්තේ නරක ප්‍රතිඵලයි.

ලංකාවේ නිරෝධායන අගුලුලෑම් අසාර්ථක වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ රාජ්‍ය නායකත්වය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් නැතිකමයි. එසේම, ඔවුන්ගේ සන්නිවේදනය ද ඉතා දුර්වලය. කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ පණිවුඩ සමාජයට නිසි පරිදි සන්නිවේදනය වන්නේ නැත. එයට මූලික හේතුවක් වන්නේ පණිවුඩවල තිබෙන පරස්පරතාවයි. එසේම, සරලව කිවහැකි දේ පවා සංකීර්ණ කර නොතේරෙන අන්දමින් කියනු හා ආණ්ඩුවේ කොරෝනා පණිවුඩ විහිළු බවට පත්වන අයුරු ද අපි පසුගිය කාලයේ දුටුවෙමු. කොවිඩ්-19 තොරතුරු සන්නිවේදනයේදී ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැති වී යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ තවමත් සමාජ ව්‍යාප්තියක් නැති බවට ආණ්ඩුව කියන බොරු කීමයි.

මේ ලිපියත් කියවන්න:

කොරෝනා පණිවිඩ ගැන මහජන විශ්වාසය බිඳවැටීම

අගුලුලෑම් සාර්ථක වීමට නම්, මහජනතාවට රජයෙන් උපකාර ලැබිය යුතුය. රජයේ උපකාර යනු ලැබේදැයි අවිනිශ්චිත රු. 5,000 පමණක් නොවේ. මේ වන විට කොවිඩ්-19 රෝගීන් අතරින් සැලකියයුතු පිරිසක් මියයන්නේ නිවෙස්වල හෝ රෝහලට ඇතුළත් කිරීමට පෙරයි. රෝහල් හා අතරමැදි මධ්‍යස්ථානවල ඉඩ නොමැති නිසා කොවිඩ් රෝගීන් නිවසේ තබාගැනීමට අවසර ලබාදී තිබෙනමුත්, ඔවුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති බව මෙම මරණවලින් ඔප්පු වේ.

අගුලුලෑම් වැනි ඖෂධීය නොවන ක්‍රියාමාර්ග දීර්ඝකාලීනව නැවත නැවත ක්‍රියාත්මක කරනවා වෙනුවට ආණ්ඩුව හා සෞඛ්‍ය බලධාරීන් විසින් කළ යුතුව තිබුණේ ඖෂධීය ක්‍රියාමාර්ග මනාව සැලසුම් කිරීමයි. එහෙත්, ලංකාවේ සිදු නොවුණේම එයයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය අදූරදර්ශීබව කෙතරම්ද යත්, 2021 අයවැය යෝජනාවලින් කොවිඩ්-19 මර්දනය සඳහා අවශ්‍ය එන්නත් ලබාගැනීමටවත් ප්‍රතිපාදන වෙන්කළේ නැත. එසේම, නොමිලේ ලැබුණු එන්නත් ටිකවත් රජය හරිහැටි බෙදාදුන්නේ නැත. රජයේ එන්නත්කරණය කිසිදු විධිමත් වැඩපිළිවෙලකින් තොර මහා වංචාවකි. බලය ඇති අය කිසිදු ප්‍රමුඛතාවකින් තොරව එන්නත ලබාගත්හ. මේ අවිධිමත්බවට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වැඩි පිරිසක් වෛද්‍යවරුය. ලංකාවේ වෘත්තියකට වඩා සමාජ පෙළැන්තියක් වන දොස්තරවරු තමන්ගේ පවුල්වල අයට හා ගෘහ සේවක ආදීන්ට පවා තම බලය පාවිච්චි කර එන්නත ලබාගත්හ.

මෙවැනි තත්වයක් තිබෙන රටක, එන්නත්කරණය වැනි ඖෂධීය ක්‍රියාමාර්ග හමුවේ යල්පැනගොස් තිබෙන අගුලුලෑම් ක්‍රියාමාර්ග මගින් වසංගතය පාලනය කළ හැකි බව පවසන්නේද වෛද්‍ය සංවිධානයි.

වත්මන් ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව රෑ වැටුණු වලේ දවල් ද වැටෙන්නට හේතුව හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමයි.

මේ බලධාරීන් සියලුදෙනාට දැන් අති සරල ලෙස කළ හැකි එකම දෙය වන්නේ ජනතාවට බැණවැදීමයි. ජනතාව අතර රෝගය ව්‍යාප්ත වන්නේ රෝගය කළමනාකරණය කරගැනීමට රජය හා සෞඛ්‍ය අංශ අසමත් වීම නිසා මිස ජනතාව රෝගය වැළඳගන්නා නිසා හෝ ඔවුන්ගේ මෝඩකම නිසා හෝ නොවේ. එසේ සිතන්නේ පොදු ජනතාව සමග ඇසුරක් නැති සීත කාමර විශේෂඥයෝය. ජනතාව මේ සියල්ල කරන්නේ වැඩ කරන්නටය. දරු පවුල්වලට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, බෙහෙත් ආදිය ලබාදෙන්නටය. ඔවුන් නිරෝගීව තබන්නටය. ඒ වෙනුවෙන් ඔවුහු හැකි උපරිමයෙන් රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිති. එහෙත්, රජය එයට උපකාර කරන්නේද? නැත. එක් උදාහරණයකින් මෙම කාරණය පෙන්වා දිය හැකිය.

රජයට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව හැමවිටම දුම්රිය ගමන් වාර කප්පාදු කර මගීන්ට පහසුවෙන්, ඉඩකඩ ඇතිව යාමට තිබෙන අවස්ථා අහිමි කරයි. මිනිසුන්ට බස්වල තදබද වී යන්නට සිදුවන්නේ බස් ගාස්තු වැඩි කරන්නට අවසර දුන්නා මිස රජය නිසි නියාමනයක් නොකරන නිසාය. මේ වන විට, සුළු වෙළෙන්දන්, කම්කරුවන් වැනි හැම කෙනෙකුම හැකි උපරිම අන්දමින් ආරක්ෂා වීමට උත්සාහ කරති. එන්නතත් නොලැබෙන මේ දුප්පතුන් කොවිඩ්-19 හදාගෙන කොටසක් මියගොස් හෝ පොදු සමාජයේ සාමූහික ප්‍රතිශක්තියට දායක වීම ගැන බලවත් අය සතුටු විය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

praja

Related posts