සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක් ගැන ඇගේ සැමියාගේ සටහනක්

sudarsani-fernandopulle

(මෙම සටහන තබන චන්දනවත්, ඔහුගේ බිරිඳ වෛද්‍ය මල්කාවත් මා මුලින්ම දැන හඳුනාගත්තේ මා ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදීය. ඔවුන්ගේ දරුවන්ට මම ඉගැන්නුවෙමි. මා පාසලේ ක්‍රිකට් භාරව කටයුතු කරද්දී පුතුන් 15න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කළහ. ක්‍රිකට් භාර ගුරුවරයා ලෙස මට පිට්ටනියේ තණකොළ කපාගැනීමේ සිට තරගයක් අවසන් වී පාවිච්චි කළ දේ අස්පස් කර පිරිසිදු කිරීම දක්වා දේ බලන්නට සිදුවිය. පාසලෙන් පිටත යනවා නම්, වාහන හයර් කිරීමේ සිට හවසට හයර් එක බේරන විට මදිපාඩුව මගේ පොකට්ටුවෙන් දැරීම දක්වා වැඩ තිබිණි. බොහෝ මව්පියන් පවා ක්‍රිකට් තරග බලන්නට නොඑද්දී මේ අම්මාත්, තාත්තාත්, පිටියේ තණකොළ කපාදීමේ සිට බොහෝ දේවලට උපකාර කළහ. දිනක්, පිටතින් පැමිණි කණ්ඩායමක ළමයින් කෑම කෑ කොළ ආදිය පිට්ටනියේ අවිධිමත් ලෙස විසිකර ගොස් තිබියදී වෛද්‍ය මල්කා ඉදලක් සොයාගෙන ඒවා අතුගා අස් කර අතුගානු මම දුටුවෙමි. පසු කලෙක මම ඔවුන් තරමක් සමීපව ඇසුරු කළ බැවින් මේ සටහන දුටු විගස ඇති වූ ආදරය හේතුවෙන් එය මෙහි නැවත පළ කරමි. මේ අන්දමින් සේවය කරන තවත් සෞඛ්‍ය සේවකයන් රැසක් සිටින බව අපි දනිමු. ඔවුන් සියලුදෙනාට මෙය උපහාරයක් වේවා. – අජිත් පැරකුම් ජයසිංහ, සංස්කාරක)

එයා හොදටම නිදි. ඒත් එයාගෙ ෆෝන් එක රිංග්වෙනව. වෙලාව පාන්දර තුනයි හතලිහයි. කාගෙන්ද බලන්නෙ නැතුව මම ආන්සර් කෙරුව. අනිත් කෙරවලෙන් ඇහුනෙ වෙව්ලන කටහඬක්.

“මහත්තයා, නෝනට කතා කරන්න පුළුවන්ද?”

“මොකද හදිස්සිය?” මම ඇහුව.

“මගෙ නෝනට බබා ලැබෙන්න දින තියෙන්නෙ ලබන සතියෙ. ඒත් දැන් හොදටම අමාරුයි. අපි නිරෝධායනය වෙලා හින්ද කවුරුත් එන්නෙ නැහැ, ලෙඩාව ගෙනියන්න. 1990ත් දුරක ගිහිල්ලලු.”

ඉතිරි ටික අහගන්න එයාව ඇහැරවල ෆෝන් එක අතට දුන්නා. මුලින් නිදිමතෙන් කතා කෙරුවත් ඇඳෙන් බැහැල කලබලෙන් එයා කොහේටද කෝල් කරනව ඇහෙද්දි මට නින්ද ගියා.

වෙලාව පාන්දර පහයි දහයයි මගෙ ෆෝන් එක රිංග්වෙනව.

“මහත්තයා , නෝනගෙ නම්බර් දෙකම එන්ගේජ්. අනේ ෆෝන් එක පොඩ්ඩක් නෝනට දෙන්න. අපි හතර දෙනාම පොසිටිව්. පොඩිදරුවට දැන් හුස්ම ගන්න බැහැ.”

මම එයාව හොයද්දි එක ෆෝන් එකක් කනේගහගෙන. අතේ තියෙන එකත් රිංග්ස් යනවා. දැන් කොහොමද මගෙ ෆෝන් එක එයාට දෙන්නෙ. ආයිත් මට කෝල් එකක්.

“මම පිඑච්අයි මහත්තයෙක් කතා කරන්නෙ. මැඩම්ට ගන්න බැහැ. හදිස්සියක්. මැඩම් ට ෆෝන් එකදෙනවද?”

එතකොට එයා නාන කාමරේ, ඒත් ටැප් එකේ වතුර සද්දෙ වෙනුවට ඇහෙන්නෙ කලබලෙන් කාටද කතාකරන සද්දෙ. වෙලාව අටට විතර ඇති එයා වෙනද අඳින සාරිය වෙනුවට කොලපාට සැහැල්ලු ඇඳුම ඇදල පිටත්වෙන්න සූදානම.

“අද කඩ වහල. පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට රොටියක් හදන්නම් කාල යන්න.”මම කිව්වා.

“ඔයාල හදාගන්න. මට බඩගිනි නැහැ,” කියල එයා MOH එකට පිටත්වුනා. ඊට පස්සෙ මට එක දිගට ආපු ඇමතුම් එයාගෙ පණිවිඩ. ඒ පණිවිඩ එයාට කියන්න ගත්තු හැම වෙලාවකම එන්ගේජ්. හවස හතරට විතර එයාගෙන් කෝල් එකක්.

“ඇයි මට කතාකරල තිබ්බෙ?”

කතා කරපු හේතු ඒ වෙනකොට මතකත් නැහැ.

“ඔයා දවල්ට කාලද?” මම ඇහුවා.

“තවම නෑ”

“කෑම එකක් එවන්නද?”

“එපා. මම විතරක් කන්නෙ කොහොමද? MOH එකේ කවුරුත් තවම කාල නහැ. අපි දැන් තේ බීවා.”

(සමහරවිට ඒක බොරුවක් වෙන්නත් ඇති.) ඇඳිරි වැටිලත් පැය ගානකට පස්සෙ එයා ගෙදර ආවා. ආපු ගමන් කෑම මේසෙ වාඩිවෙලා මමයි දරුවොයි හදපු දවල් කෑම පිගානකට බෙදාගත්තා. අපි හතර දෙනා එයා වටේ වාඩිවුනා.

“අද නම් මහන්සියි ඉක්මනට නිදා ගන්න ඕනැ,” එයා කියුවා. අපි හතර දෙනා ඔළුව වැනුවා. මම ඉක්මනින් නින්දට වැටුනා. වෙලාව රෑ එකොළහයි හතලියයි. මගෙ ෆෝන් එකට කෝල් එකක්.

“අනේ මහත්තයා, නෝනට ⁣ෆෝන් එක දෙන්න අම්මට හොඳටම අමාරුයි හතිය වැඩිවෙලා.”එයා ,ඇඳේ නැහැ. නිදිමතේම මම එයාව හෙව්ව. අඳුරු ස්තෝප්පුවෙ කෙලවරක වාඩිවෙලා. “ඇයි මේ?” මම ඇහුව.

“අමාරුවෙච්චි කෙනෙකුට ICU ඇඳක් හොයනවා”. එයා කිව්වා.

මීගහතැන්න වෛද්‍ය නිලධාරිනිය මගේ බිරිඳය. ඉහත සටහන ඇයගේ එක දිනක් නොව මේ දිනවල සාමාන්‍ය චර්යාවය.

චන්දන ගුණසිංහ

praja

Related posts