මගේම නොවන මගේ ජීවිතය

ajith

මේක අපේ ජීවිත ගැන ලිපි පෙළක ආරම්භය. අපි කවුරුත් කැමතියිනෙ අනුන්ගෙ ජීවිතවල රහස් කවුළුවලින් එබිලා බලන්න. මං කැමතියි රෑට බස්වල යන ගමන් පාර අයිනෙ ගෙවල් ඇතුළ බලන්න. දවල්ට ආලෝකයේ පරස්පරයන් නිසා අපට ගෙවල් ඇතුළෙ කරන දේ පෙනෙන්නෙ නැහැ. ඒත්, රෑට එළියෙ අඳුරයි, ගෙවල් ඇතුළෙ එළියයි නිසා මිනිසුන් කෑම කන, දරුවන් සුරතල් කරන, රණ්ඩු වෙන, රූපවාහිනී බලන ජවනිකා අපට සිනමා දර්ශනයකදි වගේ පෙනෙනවා. බස්වල කවුළුව තරමක් උසින් පිහිටා තිබීමත් ඒකට උපකාර වෙනවා. මං කැමති නැහැ මගේ ගෙදර වුණත් ජනෙල් දොරවල් වැහෙන්නට තිර රෙදි එල්ලනවාට. ඒත්, මගේ බිරිඳ දැඩිවම ඒවා අවධාරණය කරනවා.

ගිය අවුරුද්දෙ මම සිංහල, ඉංග්‍රීසි භාෂාවලින් අන්තර්ගත නිර්මාණ, පරිවර්තන, බ්ලොග් සටහන් ආදියේ වචන ලක්ෂ පහකට වැඩිය වෘත්තීය මට්ටමෙන් ලිව්වා. ලිව්වා කිව්වට මුළු පහුගිය අවුරුද්දටම පෑනෙන් ලිව්වෙ ළමයෙකුගෙ පාසලට යවපු ලියුමක් විතරමයි. අනෙක් ඔක්කොම කොම්පියුටරෙන් තමයි අකුරු ඇමුණුවේ. දැන් මට අත්අකුරු කියන්නෙ චිත්‍ර අඳිනවා වගේ වැඩක්.

මිනිසා පරිගණකයෙන් අකුරු අමුණන මිනිසකු දක්වා පරිණාමය වුණේ දෑත් නිදහස් කරගත් නිසා. මම මුලින්ම පරිගණකයක් අතපතගානකොට මට වයස අවුරුදු 40ත් පැනලා. මං මුලින්ම කළ දෙයක් තමයි, කීබෝඩ් එක ඉදිරියේ මගේ දෑස නිදහස් කරගන්න එක. ටච් සිස්ටම් එකට ටයිප් කරන්නට ඉගෙනීම නිසා මට සිංහල යුනිකෝඩ්, යුනිකෝඩ් නොවන සිංහල, ඉංග්‍රීසි කියන ටයිපිං ක්‍රම තුනෙන්ම වේගෙන් ටයිප් කරන්නට පුළුවන්. ඔලුව අවුල් කරගන්නෙ නැතුව ඒවා අතරෙ මාරු වෙවී යන්නත් පුළුවන්. සිංහල ටයිප් කරන්නෙ විජේසේකර යතුරු පුවරුවෙන් කෙළින්ම. වෘත්තීය ලේඛකයෙකුට පැවැත්ම තහවුරු කරගන්නට මේ කුසලතා අත්‍යවශ්‍යයි දැන්.

පරිවර්තකයකු විදියට ගොඩනැගෙද්දිත් මං හිතුවෙ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම දෙපැත්තටම පරිවර්තනය කරන්නට පුළුවන් පරිවර්තකයකු විය යුතු බවයි. හද්දා පිටිසර ගමක ඉපදිලා, තවමත් ගමක ජීවත් වන, ගමේ ඉස්කෝලෙකින් උසස් පෙළ දක්වා විතරක් ඉගෙනගත්ත ගොඩයකු වන මට ලංකාව සම්බන්ධ ඉහළම පෙළේ ජාත්‍යන්තර ආයතනවලට සේවා සපයන පුංචි සමාගමක හවුල්කාරයෙකු වෙන්න ලැබුණේ වෙහෙස මහන්සි වෙලා බොහොම හෙමින් ගොඩනගාගත්ත කුසලතා නිසායි. මුල් කාලෙ මම කෝඩිනුත් කළා. ඒත්, මට එහි රැල්ල එක්ක යන්නට බැරිවුණා. දොඩම් ගොඩ බදාගන්නවා වගේ හැමදේම ළඟට ගන්න බැහැනේ.

ගිය අවුරුද්දේ මට වැඩිම අධ්‍යාපනයක් ලැබුණෙ සංස්කරණ හෝ පරිවර්තන කටයුතුවලට සම්බන්ධ මුල් ලේඛනවලින්. ඒ ලේඛන වැඩිහරියක් ආර්ථිකය, උද්දේශනය, ජනමාධ්‍ය, ලිංගිකත්ව අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සංවර්ධනය සම්බන්ධ ඒවායි. වැඩ වැඩි නිසා පොත් කියවන්නට අවස්ථාව ලැබුණෙ ඉතාම අඩුවෙන්. මම තවමත් වීඩියෝ බලනවාට, පොඩ්කාස්ට් අහනවාට වඩා කියවීමට කැමති කෙනෙක්. කියවීම හරිම වේගවත් විදියට දැනුම ලබාගන්න ක්‍රමයක්. ගිය අවුරුද්දෙ මං වැඩියෙන්ම කියෙව්වේ ෆේස්බුක්. ඉතින් මේ සටහනේ එක් අරමුණක් තමයි, මාව විවිධ ආකාරයෙන් ඥානනය කරපු ඔබට ස්තුති කරන එක. වැදගත් දෙයක් කියවපු හැම වෙලාවකම ඒ ගැන අදහසක් පළකරලා අගය කරන්නට උත්සාහ කරලා තියෙනවා. ලයික් එකක් කියන්නෙ හිනාවක් වගේ දෙයක්. කිසිම මහන්සියක් නැතුව කරන්නට පුළුවන් දෙයක් වුණත්, අපේ ඊගෝ එක නිසා අපි සමහර දේවලට කැමති බව තියා එය කියවපු බව පෙන්වන්නටවත් කැමති නැහැ.

අපි පළකරන්නෙ කලාත්මකව ගන්නට උත්සාහ කරපු සාමාන්‍ය ෆොටෝ. ගොඩක් එඩිට් කරලා නැති නිසා අපේ ආවේණික කැත ඒවයේ එහෙමම තියෙනවා. අපේ ජීවිතය පරිකල්පනය කරගෙන ලෝකයට ඉදිරිපත් කරන්නට පහසුකම් සමාජ මාධ්‍ය විසින් අපට සපයා තිබෙනවා. ඒත්, ඒ පරිකල්පනය ඇත්තක් කරගන්නට උත්සාහ නොකරනවා නම්, ඒක ව්‍යාජයි. අපේ ජීවිත ගැන අපි ලියන සටහන්වල බොහෝ දුරට ඇත්ත කියන්නට අපි උත්සාහ කරනවා. ඒ අතරෙ අපිත් ජීවිතය, කලාව, දේශපාලනය ගැන යම් යම් දේ ලියනවා. අපේ සමහර මිතුරන් කවදාවත් ඒවාට ලයික් එකක් දාන්නේ නැති වුණත්, ඔවුන් ඒවා කියවන බවක් පෙනෙන නිසා දිගටම ලියනවා. අදහස් දක්වන අය අපව දිරිගන්වනවා. දිරිනොගැන්වුවත් කමක් නැහැ, පෞද්ගලික සතුට වෙනුවෙන් ලියනවා. හුඟක් වෙලාවට ෆේස්බුක් එන්නෙ වැඩකරන අතරතුර ආතතිය දුරු කරගන්න.

ගිය අවුරුද්දෙ අන්තිම හරියෙ මට කවි කීපයක් ලියාගන්නට පුළුවන් වීම ගැන මම සතුටුවෙනවා. අලුත් ගෙයක් හදන්න සෑහෙන කාලයක් ගතවුණ නිසාත්, රැකියාවේ හා පවුලේ වැඩ අධිකකම නිසාත්, මගේ මූලික බලාපොරොත්තුව වන නිර්මාණාත්මක ලේඛනයේ යෙදෙන්නට අවස්ථාවක් ලැබුණේ නැති තරම්. මට කියන්නට කතා ටිකක් තියෙනවා. ඒ කතා ටික ලියන්නට මේ අවුරුද්දේ නම් උත්සාහ කරනවා. ගිය අවුරුද්දෙත් එහෙම හිතුවා.

අපි දැන් අවරට යන කාලෙ. අපි ළඟ එකතුවෙච්ච දැනුමක් අත්දැකීමක් තිබෙනවා නම් ඒක සමාජයත් එක්ක බෙදාගන්නට හිතන්න දැන් කාලෙ හරි. ඒ නිසා මේ අවුරුද්දේ අපි පුංචි අධ්‍යාපනික ආයතනයක් පටන්ගන්නට සැලසුම් කරගෙන යනවා. ලාභ ලබන ව්‍යාපෘතියක් නෙමෙයි. මගේ පරණ ගෙදර තමයි මේක දාන්නෙ. අතීතයේ සිටි අපි වගේ, අවස්ථා අඩුවෙන් ලැබෙන, උත්සාහවත්ත, ඕනෑම වයස් කාණ්ඩයක, ඕනෑම ප්‍රජාවක, පුද්ගලයන් දහදෙනෙකුට විතර ඇවිත්, ඕනැ නම් නතර වෙලා, උයාගෙන කාලා, කෙටිකාලීන කඩිනම් පාඨමාලාවක් හදාරන්නට පුළුවන් පහසුකම් එහි සපයන්නට අදහසක් තිබෙනවා. දැනට අපේ අතේ ඉතිරි වන මුදලින් කරන නිසා වැඩේ ටිකක් හෙමින් යන්නෙ. ඉංග්‍රීසි, සන්නිවේදනය, ව්‍යවසායකත්වය, උද්දේශනය, සැලසුම් චින්තනය වගේ මොඩියුල් ටිකක් හදන්නත් හිතනවා. බලමු.

මේ සටහන තබන්නෙ මා විතරක් වුණාට, එහි සඳහන් වෙන්නෙ මා ගැන විතරක් වුණාට, මේ කාර්යයන් කරන්නෙ මම නෙමෙයි, අපි. අපට පුංචි කණ්ඩායමක් ඉන්නවා. ප්‍රජා කණ්ඩායම උත්සාහ කරන්නෙ ව්‍යවසායක ඇසකින් සමාජ වගකීම් දෙස බලන්නටයි.

අලුත් අවුරුදු උදාවක් කියන්නෙ අතීතය දෙස හැරී බලන්නටත්, අනාගතය ගැන බලාපොරොත්තු අලුත් කරගන්නටත් අවස්ථාවක්.

ප්‍රජා වෙබ් අඩවිය තමයි, අපි ජීවිතේ ගැන කතා කරන අවකාශය. එතනදී හමුවෙමු. අපි වැඩියෙන් කරන්නෙ ලියන එක. ඒක පරණ තාලෙ වැඩක් වෙන්නට පුළුවන්. කියවන කුසලතා ගොඩනගාගන්න. ඒක හරි වේගවත්.

(ඡායාරූපයේ මා සමග සිටින්නේ මගේ වැලිකෙළියේ මිත්‍රයකු, ව්‍යාපාරික හවුල්කරු හා මගේ බොස් නොවන බොස්ය.)

අජිත් පැරකුම් ජයසිංහ සහ ප්‍රජා කණ්ඩායම

praja

Related posts