SRI LANKA-POLITICS-VOTE

පළාත් පාලනයේ තරුණ නියෝජනය 25%ක් වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමති ශාන්ත බණ්ඩාර කියනවා.

පළාත් පාලනයේ තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ලක්ෂ 50කට ආසන්න වන වයස අවරුදු 15-29 අතර ලාංකික තරුණ ජනගහනය රටේ ජනගහනයෙන් 25%ක්. ඔවුන් වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවල 40%ක ඉඩ වෙන්කිරීම 1990 සිට 2012 දක්වා කාලයේදී අනිවාර්ය වුණා. 2012 අංක 22 දරන පනතින් මෙය 25% දක්වා අඩු කරනු ලැබුවා. එසේම, එය තරුණ හා කාන්තා ඒකාබද්ධ නියෝජනයක් ලෙස ද වෙනස් කරනු ලැබුවා. එහෙත්, එය දේශපාලන පක්ෂවල කැමැත්ත මත තීරණය කළ හැකි කරුණක් වුණා. ඒ නිසා දේශපාලන පක්ෂ එය නොතකා හැරියා. 2017 අංක 16 දරන පනතින් පළාත් පාලනයේ තරුණ නියෝජනය 30% දක්වා වැඩි කර තිබුණ ද එය ද අනිවාර්‍ය නැහැ.

මේ වන විට පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 8,000 පමණ සිට 4,000 පමණ දක්වා අඩුකිරීම සඳහා සීමා නිර්ණ කමිටුව කටයුතු කරමින් ඉන්නවා. පළාත් පාලන ආයතන කීපයක් ඒකාබද්ධ කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා.

2018ට පෙර මහ නගර සභා 23 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 271 ක් ආවරණය කරමින් පළාත් පාලන ආයතන 335ක සිටි මුළු සභික ධූර සංඛ්‍යාව 4486 ක් වුණා. නව ක්‍රමය යටතේ එය ආයතන 341 ක් දක්වා වැඩි වී සභික ප්‍රමාණය 8346 ක් දක්වා වැඩිවුණා. උදාහරණයක් ලෙස, කොළඹ නගර සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 53 සිට 110 දක්වා වැඩිවුණා.

2018ට පෙර, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහ මන්ත්‍රීන් වෙනුවෙන් වැටුප් සඳහා රජය වැය කළේ රු. කෝටි 84ක්. එය 2018න් පසුව දෙගුණ වුණා.

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts