UNICEF

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධි වැඩි වීමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරයි.

වසර ගණනාවක් පැවැති යුද්ධ ගැටුම්, සුනාමි උවදුර, කොවිඩ්-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටලු කිහිපයකින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන ඇති බව එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සර දිනය යෙදුණු පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

දරුවන්ට සහ තරුණයන්ට සවන් දීමට සහ ඔවුන්ගේ හඬ අවදි කරමින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සහය ලබාදීම සඳහා UNICEF සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති තරුණ උපදේශකයන් පත් කිරීමේ වැඩසටහන යටතේ මෙරට තරුණ උපදේශකයන් ලෙස ජතුජාන් මහේන්ද්‍රන්, තරුෂි වීරසිංහ සහ මෙනුරි සචින්තිකා කොඩිකාර යන තරුණ නායකයන් UNICEF ශ්‍රී ලංකා සංවිධානය සමඟ නිල වශයෙන් එක්වීම ද මෙහිදී සිදු විය.

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් කරගනු ලැබූ සාර්ථකත්වයන් අතර ගෝලීය වශයෙන් ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගෝලීය ප්‍රවේශය 99%ක් ළඟා කර ගැනීම, දරු උපත් 1000කට 11 බැගින් වූ අනුපාතිකයක් යටතේ එම දරුවන්ගෙන් 5 වන උපන්දිනයට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ එම අගය නඩත්තු කිරීම සහ ආරක්ෂිත පානීය ජලය සඳහා 88.5%කට වඩා තිරසර ප්‍රවේශයක් ලබාදීම වැනි සාධනීය කරුණු ප්‍රධාන වන බව ස්කූග් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා අය-වැයෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මිනුම් දඬුවලට වඩා බෙහෙවින් පහත අගයක පවතින බවත්, එම මුදල් පැහැදිලිව ම ප්‍රමාණවත් නොවන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

දරුවන්ගේ පවුල්වල පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ බලපෑමට ලක් වූ දරුවන් සඳහා සේවා සපයන සියලුම විධිමත් ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම දිරිමත් කළ යුතු බව ත්, ශාරීරිකව දඬුවම් කිරීම තහනම් කිරීමට සහ අපරාධවලට එරෙහිව කඩිනම් පියවර අනුගමනය කළ යුතු බව ත් ඔහු පැවසීය.

Similar Posts