economy

මූල්‍ය කඩාවැටීම හුදෙක්ම ආර්ථික ප්‍රශ්නයක් යැයි සමහරු සිතති. එය හා ව්‍යවස්ථාව අතර ඇති සම්බන්ධය කුමක්දැයි සමහරු අසනු ඇත.

මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම හුදෙක් ම ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. රටේ පවතින මූලික නීති ව්‍යුහය මූල්‍ය අර්බුදයක් ඇතිවීම හෝ මූල්‍ය අර්බුදයක් ඇති වීම වළක්වාලීම යන කරුණු දෙකටම අදාළය. ඇත්තෙන්ම මෙම නීතිමය ප්‍රශ්ණය ආර්ථික ප්‍රශ්නයකට වඩා බලවත්ව මූල්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමේ හෝ එය නිර්මාණය වීමෙන් වැළැක්වීම සඳහා ආධාරක වේ.

ලංකාව දැන් මුහුණ දී ඇති මූල්‍ය කඩා වැටීමට පසු බිම වී ඇත්තේ ඉවක් බවක් නැතිව ගත් ණය නිසා ය. එම ණය හා එහි පොලී ගෙවා ගැනීමට බැරිවීම අද රාජ්‍ය භාණ්ඩාගාරයේ ඩොලර් හිඟයක් දක්වා වර්ධනය වී ඇත. එය රටේ අන් සියලුම ප්‍රශ්න ඇති කරන මූලික සාධකයක් බවට පත්ව ඇත.

යම් ව්‍යවස්ථානුකූල මූලධර්ම අනුගමනය කළා නම් මෙම තත්ත්වය වළක්වා ගන්නට තිබුණා ද? මෙය දැන් ඇති අර්බුදය ගැන පමණක් නොව අනාගතයේදී මෙවැනි අර්බුද නැති කර ගැනීම කෙරෙහි බලපාන ඉතා ප්‍රධාන ප්‍රශ්නයකි.

මෙය වටා ඇති නීතිමය සංකල්ප ධාරාව පදනම් වී ඇත්තේ හිතුවක්කාරකම හා නීතියේ ආධිපත්‍යය යන සංකල්ප දෙක අතර ඇති මහා පරිමාණ එනම් සුදු කළු මෙන් ඇති භේදය මතය. හිතුවක්කාර පාලනය යනුවෙන් නෛතික වශයෙන් සලකනු ලබන්නේ නීතිය ආධිපත්‍යයෙන් පරිබාහිර තීන්දු ගැනීමට ඇති හැකියාවයි.

මෙම හිතුවක්කාරකම ලංකාfව් ණය ගැනීම් පිළිබඳව බලපා ඇත්තේ කෙසේද?. නීතිය රට තුළ සිදුවන සෑම ක්‍රියාවක්ම තුළින් ඇති විය හැකි විනාශකාරී හා අගතිගාමී ප්‍රතිඵල වළක්වාලීම සඳහා ගනු ලබන පියවරයන් නිර්ණය කරයි. මෙසේ කරනු ලබන්නේ ණය ගැනීම් පිළිබඳව ඉතා පැහැදිලි නෛතික රාමුවක් ගොඩනැගීම හා එම රාමුව තුළ පමණක් මෙවැනි ණය ගැනීම් කිරීමට ඉඩහැරීම තුළින් පමණි. එනම් එවැනි නෛතික රාමුවකින් පිට ණය ගැනීම නීති විරෝධී වන අතර එවැනි ණය ගැනීම් නතර කර ගැනීමේ ක්‍රියා පිළිවෙතක් ද එම නීතිමය සම්ප්‍රදාය තුළ ගොඩනගනු ලබයි.

එය නොතකා ක්‍රියාකිරීමට බැරි වන ආකාරයට උපක්‍රම ගොඩනඟා ගැනීම ද එම නීති සම්ප්‍රදාය තුලින්ම කෙරෙන වැඩකි. මේ අනුව නීතියෙන් කෙරෙන්නේ රජය විසින් කරන ලද සෑම ක්‍රියාවක්ම සම්බන්ධයෙන් කිසියම් පිළිවෙලක් නිර්මාණය කිරීම හා එම පිලිවෙලට නෛතික බලය පැවරීම මගිනි.

මේ අනුව ලංකාවේ ණය ගැනිම් කිරීමේ පද්ධතිය සුදුසු සූක්ෂම භාවයකින් නිර්මාණය කර තිබුණා නම් මෙම ණය ගැනීම් පාලනය කර ගැනීමටත් එම ණය ගැනීම් තුලින් ආර්ථික ප්‍රගතියක් ඇති කර ගැනීමටත් අවස්ථාව නිර්මාණය කර ගත හැකිව තිබුණි. නීතිය මගින් ණය ඉල්ලීම සඳහා ක්‍රියාමාර්ගය සකස් කරනු ලබයි.

ණය අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? එය ලබා ගන්නේ කුමන ආකාර වලින්ද? එම ලබා ගැනීම රටට අහිතකර නොවන ආකාරයකින් පාලනය කර ගන්නේ කෙසේද? එම ණය ගෙවීම සඳහා මාවත වශයෙන් සකස් කර ගන්නේ කුමක් ද? ආදී ණය ගැනීම් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් බලපැවැත්වෙන ස්වභාවික හේතූන් සියල්ල වටා ගෙතුණු නෛතික රාමුවක් රටක පැවතිය යුතුය.

වර්තමානයේ දී ණය ගැනීම් පිළිබඳව මතුවී ඇති මූලික විවේචනයන් පහත සඳහන් කළ හැකිය. බොහෝ දුරට ණය ගැනීම රටේ ආර්ථික නිෂ්පාදනයක් තුළින් රටේ වැයකළ යුතු මුදල් නිර්මාණය කිරීමට විකල්පයක් වශයෙන් පාවිච්චි කර ඇත. එක් විවේචකයෙකු පවසන ලද්දේ ලංකාවේ පවතින්නේ අයවැය නොව ණය වැය යනුවෙනි. රටේ වියදමට අවශ්‍ය මුදල් ණයට ගැනීමේ මාර්ගයෙන් ගෙන ඒවා වියදම් කිරීම රටේ පුරුද්දක් බවට පාලකයන් විසින් පත් කර ගෙන තිබුණි.

ණය ගන්නා සාමාන්‍ය බුද්ධිමත් මිනිසෙකු ක්‍රියාකරන පිළිවෙළටම ණය ගන්නා රාජ්‍යයන් ද යම් ප්‍රඥාගෝචර ආකාරයෙන් කටයුතු කරයි. ණය ගැනීම වනාහී මූලික වශයෙන් ම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කරුණක් බව ඔවුහු වටහා ගනිති. එම නිසා ඇතිවිය හැකි එම භයානක ප්‍රතිඵල වළක්වාගැනීමේ සැබෑ උපක්‍රමයක් නොමැතිනම් ණය ගැනීමෙන් වැලකී සිටින්නේ එම භයානක ප්‍රතිඵල වල ගොදුරක් බවට පත් නොවීම සඳහාය.

සාමාන්‍ය මිනිසෙකු යම් ණයක් ලබා ගතහොත් එය ගෙවා ගන්නට ඒ හා එහි පොලී ගෙවා ගැනීමට බැරි වුනහොත් ඔවුන්ගේ ඉඩකඩම් පවා නැතිවී මහ පාරට වැටෙන තත්ත්වයක් ඇති වීමට පුළුවන් බව පොදුජන ප්‍රඥාව තුල සටහන් වී ඇත. එම නිසා එම ප්‍රඥාවෙන් බාහිරව කටයුතු කරන්නන් වැටී ඇති අමාරුකම් ජන මනස තුල ඉතා තදින් පැලපදියම් වී ඇත. මේ අනුව එය පරම්පරාවෙන් පරම්පරාවට මිනිසුන් උරුම කරගන්නා ඥානයේ හා බුද්ධියේ කොටසක් සේ පවතී. එසේ තිබියදී එසේ නොතකා හරින්න නැවත නැවත අමාරුවේ වැටෙන ආකාරය තුළින් පොදු ජනයා තමන් තුළ ඇති ස්ථානෝචිත ඇති ප්‍රඥාව නිවැරදි කරුණු මත පදනම් වූ එකක් බව තවදුරටත් තහවුරු කරගනි.

රටක් යනු පුද්ගලික දේපළක් නොවේ. එය සාමූහික දේපළ පද්ධතියකි. එම නිසා ණයෙන් වෙන අනිසි ප්‍රතිවිපාක වළක්වා ගැනීම හුදෙක් ඒ කාලයට පත්වන පාලකයා අත තිබෙන්නට හැරීම ඉතා නරක ප්‍රතිඵල ඇති කළ හැකි ක්‍රියාදාමයකි. සාමූහික දේ පාලනය කර ගැනීම සඳහා සාමූහික ප්‍රඥාව මඟින් පොදුවේ පිළිගැනෙන සීමාවන් නිර්මාණය කර ගනි.

ණය ගැනීම සම්බන්ධයෙන් ද සාමූහික දේපළ විනාසයක් ඇති නොවන ආකාරයට එම ක්‍රියාවන් කර ගැනීමට පමණක් නොව අවසාන වශයෙන් එම ණය ගැනීමේ ක්‍රියා මාර්ගය තුළ සාමූහික යහපත ඉටුකර ගැනීමට ඇති උවමනාවද පවති.

ඕනෑම ක්‍රියාදාමයක් පාලනය කිරීම ඒ ක්‍රියාදාමයට අදාළ වන්නා වූ සුවිශේෂ ඥානයක් මගින් කළ යුතු වේ. ගඟක ඔරුවක් පැදීම පිළිබඳව කිසියම් පිළිවෙලක් ඇත. එම පිළිවෙල නොදන්නෙකු හෝ එය අනුගමනය නොකරන්නෙකු අනිසි ප්‍රතිඵලවලට දීපු මූණ දීම වැළැක්විය නොහැකිය. මේ ආකාරයට තොටියා සතු ඥානය රියදුරා සතු ඥානයට වෙනස්ය. රියදුරා සතු වන්නා වූ ඥානය ඉන්ජිනේරුවා සතු ඥානයට වෙනස්ය. ඒ ආකාරයට ණය ගැනීම් හසුරුවා ගැනීම් පිළිබඳව ඥානයද එක් එක් එම ශේෂ්ත්‍රයේ මුදල් ගනුදෙනු කිරීමේ පිළිවෙත් තුල නිර්මාණය කරගන්නා වූ සූක්ෂම ක්‍රියාදාමයක් මත පදනම් වී ඇත.

මේවා සෑම රටක් පාසා ම නිර්මාණය කරගෙන ඇති සම්ප්‍රදායන් බවට පත් වී ඇත. එම නිසා ණය ගැනීම ඕනෑම රටක් විසින් කළ හැකි දෙයක් වන නමුත් ණයක් පාලනය කර ගැනීමේ හැකියාව ඕනෑම රටකට තමන්ට කැමති ආකාරයකට කරගත හැකි එකක් නොවේ. ඒ පිළිබඳව පවතින මූලික සිද්ධාන්ත අනුගමනය කළ යුතු අතර එම සිද්ධාන්ත අනුගමනය කරවා ගැනීමේ හැකියාව නිර්මාණය කරගෙන තිබිය යුතුය.

ලංකාව තුළ අප දකින්නේ විශේෂයෙන්ම 1978න් පසු කාලයේ සීමාවන් අතහැර දැමීම හා හිතුවක්කාර ආකාරයකින් එනම්, ඇතිවිය හැකි ප්‍රතිඵල නොතකා ණය ගැනීම් තුළින් ඇති කරගත් අර්බුදයකි. ඒ මගින් නිර්මාණය වී ඇති එම අර්බුදය විසඳා ගැනීමට තවත් ණය ගැනීම, අර්බුදය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ගොස් අද ණය ගැණීමටත් බැරිව වෙන තරමට මෙය ඉහවහ ගොස් ඇත.

මෙම ක්‍රියාදාමය නෛතික පාලනයක් යටතේ හැසිරවිය යුතුව ඇත. එම නව නෛතික ක්‍රියාදාමය පදනම් විය යුත්තේ ණය ගැනීම් පිළිබඳව සිදුවන ක්‍රියා විවෘතභාවයකින් හා ඒවා වගකිව යුතු ආකාරයකින් කරවීම සඳහා තිබිය යුතු ක්‍රියාදාමයත්, එම ක්‍රියාදාමයන් අධීක්ෂණය කිරීමේ හැකියාවත්, අධීක්ෂණයන් විසින් පෙන්නුම් කරන ලබන අගතිගාමි ක්‍රියාමාර්ග වළක්වාලීමට ඇති ප්‍රතිපාදනත්, එම ප්‍රතිපාදන වලින් තොරව කටයුතු කිරීමට කිසිවෙකුටවත් නොහැකි වන සේ බාධා පමුණු වීමත් මගිනි.

මේ කරනු ලබන්නේ නීතියේ ආධිපත්‍යය තුලිනි. එසේ මෙය කළ හැක්කේ රට තුළ නීතියේ ආධිපත්‍යය රැකගත හැකි වන්නා වූ, නීති රාමුවක් හා නීතිය ක්‍රියාවට දමන පිළිවෙළක් තිබුණහොත් පමණි. මෙම පිළිවෙලේ මූලික ව්‍යුහය නිර්මාණය කරනු ලබන්නේ රටක ව්‍යවස්ථාව තුළිනි. එම ව්‍යවස්ථාව පදනම් වී ඊට අදාළ වෙනත් නීති නිර්මාණය කරනු ලබයි.

එසේ වෙනත් ආකාරයකින් නිෂ්පාදනය වන නීති කඩා උල්ලංඝනය කිරීම ව්‍යවස්ථා ප්‍රතිපාදනය ට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට විරුද්ධ වූ කළ එය ව්‍යවස්ථාවටම විරුද්ධ ක්‍රියාදාමය ක් බවට පත්වේ. එනම් සකළ ජාතියටම හා විරුද්ධව කරනු ලබන අපරාධයක් බවට පත්වේ. පාලකයන් එසේ කිරීම වළක්වාලීම මගින් පමණක් මූල්‍ය ස්ථාවරත්වයක් රටක් තුළ ගෙන යා ගත හැකිවේ.

1960න් පසු කාලයේදී ලංකාව තුල කෙරී ඇත්තේ මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියා කලාපයකි. එනම් නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම මගින් ව්‍යවස්ථාව බල රහිත ලේඛනයක් බවට පත්කිරීමත්, එම පසුබිම යටතේ අදාළ සියලුම හා නීති නොතකා ක්‍රියා කිරීමට හැකි තත්ත්වයක් පාලකයන්ට ඇතිවීමත්, ඒ අනුව ඔවූහු තමන්ගේ කැමැත්ත අනුව කටයුතු කිරීම තුළින් අතිශයින් විනාශකාරී ණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබීමත්ය.

මෙය කරනු ලැබුවේ ව්‍යවස්ථාව බාල්දු කිරීම තුළිනි. ව්‍යවස්ථාවට ඉහළින් විධායක ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ අර්ථය වූයේ නීතියට ඉහළින් හිතුවක්කාරකම රජ කිරීමෙනි.

මේ හුදෙක් පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නොව මුළුමනින්ම නීතියේ ආධිපත්‍යය යන සංකල්පය අතහැර දැමීමකි. වාචිකව එම නීතියේ ආධිපත්‍ය යන වචන ව්‍යවස්ථාව තුළ සහ වෙනත් නීති වල අඩංගු වූවත් අභ්‍යන්තරයෙන් ඉතා සූක්ෂම ආකාරයෙන් ව්‍යවස්ථා නීතිය විනාශ වන ආකාරයට කටයුතු කිරීම මගින් හිතුවක්කාරයාගේ හිතුවක්කාරකම අහසට උඩින් යන සේ නිර්මාණය කර ගැනීම තුළින් රටේ අද අද පවතින මූල්‍ය අර්බුදය හා ඒ තුලින් මතුවී ඇති ඩොලර් අර්බුදය ඇති වී ඇත.

මේ නිසා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අවස්ථාවට සත්භාවයෙන් මුහුණ දෙන ජනතාවක් ඉතා බැරෑරුම්ව මැදිහත් විය යුතු වන්නේ ව්‍යවස්ථාව අර්ථවත් ව්‍යවස්ථාවක් කිරීම මගින් නීතියට මුල් තැන දීම මගින් පාලකයා නීතියට යටත් කිරීම තුළින්, ණය ගැනීමේ ක්‍රියාදාමය දැඩි ලෙස පාලනය කිරීමය.

ලංකාවේ ණය ගැනීමේ ක්‍රියා මාර්ගය පිළිබඳ ඇති සැකයක් නම් බොහෝ ණය වලින් ලබාගත් මුදල් දූෂණය සඳහා පාවිච්චි වූ බවත් එය පුද්ගලයන්ගේ වාසිය හා ලාභය සඳහා පාවිච්චි පුද්ගලික ධන කුවේරයන් ඇති කිරීමට හේතු වූ බවත්ය යන්නය. මේ නිසා මුළු පාර්ලිමේන්තු ක්‍රමය ම බාල්දු වූ තත්ත්වයක් රට පුරාම පවතී. දේශපාලනඥයෙකු සත්භාවයෙන් යුතු පුද්ගලයෙක් යැයි සලකන තත්ත්වය බොහෝදුරට රටින් තුරන් වී ඇත. ඉතා දැඩි අසතුටක් මෙම සමස්ත ක්‍රමය කෙරෙහි බලපා ඇත.

එයට හේතුව නම් හුදෙක් පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නොව නෛතික රාමුවක් තුළ රටේ කටයුතු කර ගැනීමට ඇතිකර ලද බාධාවන් නිසා ඇති වූ තත්ත්වයෙකි. නීතියට ඇති කර ඇති බාධාවන් ඉවත් කිරීමත්, හිතුවක්කාරකම පාලනය කිරීමට ඇති කළ යුතු බාධාවන් තහවුරු කිරීමත් තුළින් ලංකාව තුළත් ස්ථාවර මූල්‍ය පද්ධතියක් නිර්මාණය කරගත හැකිය.

ඒ සඳහා නීතියේ ආධිපත්‍ය රජකරවන, එයට විරුද්ධ වන සියල්ලන් ගේ බලතල අහිමි කරන මූලික නෛතික ලේඛනයක් රටේ ප්‍රධාන නීතිය, මහා නීතිය ලෙස සකස් කොට ගත යුතුය. ව්‍යවස්ථාව හා රටේ මූල්‍ය පාලනය අතර ඇති සම්බන්ධය එයයි.

Similar Posts