bankoloth

ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට පත්වීම නොවැලැක් විය හැකි බවයි.

නමුත් පසුගිය ජනවාරි 18 මහබැංකු අධිපති ටුවිටර් නිවේදනයක් මගින් පෙන්වා දුන්නේ අදාල ණය මුදල වන ඩො.මි 500 පියවා දැමූ බවත්, ඉදිරි ණය වාරික ද ගෙවා දැමීමට මහ බැංකුව සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ මීලඟ ණය වාරිකය 2022 ජුනි මාසයේ ගෙවීමට ඇති අතර ඒය ඩො.මි 1000 ක් බව වාර්තාවේ.

පසුගිය ජනවාරි 18 ගෙවා දැමූ මෙම ණය වාරිකය සම්බන්ධව අදහස් දක්වන සමහර ආර්ථික විශේෂඥයින් පවසා සිටින්නේ, ආනයන සීමා කරමින් කාලයක් තිස්සේ ඉතිරි කරගත් ඩොලර්, මෙසේ ණය වාරික ගෙවා දැමීම සදහා මේ මොහොතේ භාවිතා කිරීම අනුවන කමක් ලෙසයි. ඔවුන් පෙන්වා දෙන්නේ වහාම අදාල මුල්‍ය ආයතන සමග සාකච්ඡා කර ණය පියවීමේ සැලැස්ම නැවත සංශෝධනය කළ යුතු බවයි. ඒය කළ හැකි බවත්, පකිස්තානය ඇතුලු විවිධ රටවල් ඒසේ කර ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

විශාල ඩොලර් හිඟයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ආනයන තහනම් කිරීමෙන් ඉතිරි කරගත් මෙම ඩොලර් ප්‍රමාණය ණය ගෙවීමට යොදා ගැනීමෙන් රටට අවශ්‍ය ‌ඖෂධ, කිරිපිටි, ඉන්ධන, ගෑස්  හා පොහොර වැනි අත්‍යවශ්‍ය දේ ගෙන්වා ගැනීමට භාවිතා කළ හැකිව තිබූ බව පෙන්වාදේ. ඉදිරි දින කිහිපයේ දී ඒදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට බංකොලත් භාවයකට පත්වීම නොවැලැක්විය හැකි බව ඔවුන් තව දුරටත් පෙන්වා දේ.

මේ අතර, ශ්‍රී ලංකාව 2021 වසරේ දී ඉන්ධන, ඖෂධ, පොහොර, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා පමණක් ඩො.බි. 21ක්  වැය කර ඇති බව වාර්තා වේ. ඒය  2020 වර්ෂයේ ඩො. බිලියන 16ක් වන අතර,  2019 වර්ෂයේ දී ඩො. බිලියන 20ක් බව වාර්තා වේ. ඒ අනුව බැලු විට ඉහත ඩො.මි 500 තිබුනේ නම් සති දෙකකට පමණ අවශ්‍ය ඉන්ධන හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව තිබුනි.

ආර්ථික විද්‍යාව පිළිබදව විශාල දැනුමක් නොමැති වුවත්, වෙළද පොලේ ඇති උග්‍ර අත්‍යාව්‍ය භාණ්ඩ හා සේවා හිගය අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවට මේ තත්ත්වයෙන් තව දින කිහිපයකට වඩා වැඩි කාලයක් ගමන් කිරීමට කිසිසේත් නොහැකි බවයි. ඉන්ධන හා විදුලිබලය අඛන්ඩව සැපයීමට නොහැකි තත්ත්වයකට රට පත්වුවහොත් ඉන් ඇති විය හැකි තත්ත්වයන් පිළිබදව කිසිවෙකු ගණනය කර තිබේ ද යන්න පවා සැක සහිතය.

මේ සම්බන්ධව මාධ්‍ය ඉදිරියට පැමිණෙන ප්‍රධාන අමාත්‍යවරු පවසන්නේ ඉන්ධන ඇත්තේ තව දින කිහිපයකට බව අපට පෙන්වා දේ. වරායට පැමිණ තිබෙන ඉන්ධන නැවට ඩොලර් ගෙවීමට අහවල් රටෙන් ණය මුදලක් ඉල්ලා ඇති බවත් ඒය ලැබුනොත් තව දින කිහිපයකට ඉන්ධන ලබා දිය හැකි බව ඔවුන් පවසයි.

විදුලිබල ඇමතිවරයා කියා සිටින්නේ ඛනිජ තෙල් ඇමතිවරයා ඉන්දන ලබා නොදුන හොත් දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදුවට යාමට සිදුවන බවයි. ඒ සම්බන්ධව ඛනිජ තෙල් ඇමතිවරයා කියා සිටින්නේ ඛනිජතෙල් සංස්ථාවට අය විය යුතු විශාල ණය මුදල විදුලිබල මණ්ඩලය විසින් පියවා දමන්නේ නම් හෝ ලබාගන්නා ඛනිජ තෙල් සදහා ඩොලර් ලබා දෙන්නේ නම් ඉන්ධන ලබා දිය හැකි බවයි.

ඒමෙන්ම, ඛනිජතෙල් ඇමතිවරයා කියා සිටින්නේ තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වෙන්කරන බවත්, ප්‍රවාහනය සදහා අවශ්‍ය ඉන්ධන නොමැති වුවහොත් ඒය විශාල ගැටළුවක් විය හැකි නිසා, තිබෙන ඉන්ධන තොග ආරක්ෂා කර ගනිමින්, අප්‍රේල් මාසයේ වැසි ලැබෙන තෙක් විදුලි කප්පාදුවකට යාම යෝග්‍ය බවත් පවසයි.

නවීන විද්‍යාව අනුව අමාත්‍යංශ වෙන්කර, ඒ සදහා පත්කළ උගත් බුද්ධිමත් අමාත්‍යවරු මාධ්‍ය ඉදිරියට පැමිණ කරන මෙවැනි බංකොලත් ප්‍රකාශ වලින් පෙනී යන්නේ රට ප්‍රපාතය කරා තව දුරටත් ඇද වැටිම වලකාලීමට මෙම බුද්ධිමත් මැති ඇමතිවරුන්ට කිසිදු සැලැසුමක් නොමැති බවයි. ඒමෙන්ම, මේ අය පත්කළ රටේ පරාමාධිපත්‍ය බලය හිමි බුද්ධිමත් ජනතාව ලෙස නිතරම හදුන්වන ඡන්දදායකයින් ද මාධ්‍ය වෙත වොයිස් කට් දෙමින් තමන් මුහුණ දී ඇති ගැටළු ගැන අදෝනාවන් ප්‍රකාශ කරයි.

නමුත්, මේ ඡන්ද දායකයින් බොහෝ දෙනා ගෙදරදොරේ ආර්ථිකය සැලසුම් කිරීම මීට වඩා සාර්ථකව සිදු කරයි. මාස් පඩි කරුවන් අවම වශයෙන් මාසයකට අවශ්‍ය භාණ්ඩ රැස්කරගෙන ඒවා ඉතා පරිස්මින් කලමනාකරණය කර ගෙන මුළු මාසය ජීවත්වීමට යොදා ගනී. මේ අතර වෙනත් හදිසි වියදමක් දැරීමට සිදු වුවහොත් අමතර වියදමක් කපාහැර පවුල් සංස්ථාව යම් කිසි සැලසුමක් තුළ පවත්වාගෙන යාමට උත්සුක වෙයි. ඒ අයුරින් ගෙදර ආර්ථිකය සැලසුම් කරන්න බොහෝ අය රටේ ආර්ථිකය වැටී ඇති තත්ත්වය පිළිබදව කිසිවක් මායිම් නොකරයි. ඒය තමුන්ට අදාල කාරියක් නොවන බව විශ්වාස කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදයේ ආරම්භය 1955දක්වා දිවෙන බව පැවසේ. බ්‍රිතාන්‍යයන් රට බාරදී යන අවස්ථාවේ ඉතිරිකර තිබු අතිරික්තයන් අවුරුදු පහ හයකින් අවසන් කිරීමෙන් පසුව, ඒතැන් සිට සිදුකළ ඉතා දූෂිත හා වංචා සහගත ගණුදෙනු, සැලසුමකින් තොරව සිදු කළ විවිධ සංවර්ධන වැඩසටහන් වැනි කාර්යන් සදහා රටේ ජනතාව උගස්කර ලබාගත් විශාල ණය කන්දරාව නිසා අද රට මේ තත්ත්වයට පත්ව ඇති බව පරමාධිපත්‍ය බලය හිමි ජනතාව කල්පනා නොකරයි.

පසුගිය දශක කිහිපයම ජාත්‍යන්තර මුල්‍ය සංවිධානත්, ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් මෙවැනි තත්ත්වයකට රට පත්විය හැකි බවත්, මුල්‍ය අපරාධ, දූෂණ හා වංචාවන් සිදුවීම වැලකීමට කටයුතු කරන ලෙසත්, විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය ආයතන හැකි ඉක්මනින් ප්‍රථිව්‍යුගත කිරීමට කටයුතු කරන ලෙස කරනු ලැබු ඉල්ලීම් පිළිබදව මේ රටේ පරමධිපත්‍ය හිමි ජනතාව තඹේකට මායිම් නොකරමින් කටයුතු කළ නිසා අපිටත් බංකොලොත් රාජ්‍යක ජීවත්විමේ සතුට ඉතා ඉක්මනින් ඉදිරියේ දී ලබා ගැනීමට හැකිව තිබේ.

අවස්ථා ගණනාවක දී කෝප් කමිටුව වැනි කමිටු විසින් මෙසේ පාඩු ලබන රාජ්‍ය ආයතන පිළිබදව විමර්ෂනයන් සිදු කරමින්, ඒවායේ සිදු වූ විශාල දූෂණ වංචා පිළිබදව කරුණු හෙලි කරනු ලැබුවත්, ඒසේ මහජන මුදල් විශාල වශයෙන් අවභාවිතා කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට හෝ නඩු පවරනු ලැබුවත්, ඒ කිසිවක් ඉදිරියට යාමට ඉඩ ලබා නොදීම සදහා, ඒවැනි චෝදනාවන්ට ලක් වූ පුද්ගලයින් තමන්ගේ මහජන නියෝජිතයින්, රටේ නායකයින් බවට පත් කර ගැනීමට කටයුතු කර ගැනීමත් නිසා, ඒමගින් අදාල විමර්ෂනයන් සම්පුර්ණයෙන් නතර කිරීමට පියවර ගත් නිසාත් ඒමෙන්ම, ඒවැනි දූෂිතයින්ට තව දුරටත් ඒවැනි දේ කරගෙන යාමට අවශ්‍ය ජනවරමත් ලබා දීම නිසා අප අද මේ තත්ත්වයට පත්ව තිබේ.

ඒමෙන්ම, ජනග්‍රහනයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය දරාගත නොහැකි මට්ටමට වර්ධනය වී ඇති බව මීට දශකයකට පමණ පෙර සිට පෙන්වා දෙනු ලැබුවත්, ඒ කිසිවක් මායිම් නොකරමින් පත් වූ සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය අංශය තව තවත් පුළුල් කිරීමත් රාජ්‍ය සේවකයින් බදවා ගැනීම කිසි ලෙසකින් නතර නොකලා පමණක් නොව රාජ්‍ය සේවකයින් ගේ වැටුප් වැඩි කිරීම මෙන්ම අනෙකුත් පහසුකම් ලබාදීමට ද කටයුතු කලාය.

ඒමෙන්ම, මේ මොහොතේ රටට කිසිසේත්ම අවශ්‍ය නොවන හා කිසිදු ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි සංවර්ධන ව්‍යාපෘති විශාල පොලී අනුපාතයන් යටතේ විදේශීය පුද්ගලික බැංකු වලින් පවා ලබා ගැනීම නිසා මේ වන විට රට ඩොලර් ට්‍රිලියන 15ක ණය කාරයෙක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒසේ නම්, මේ පිලිකාව නිසා හටගත් තුවාලයෙන් ගලන ඔජසය නොපෙන්වීමට තව දුරටත් පැලැස්තර ඇලවීම වෙනුවට, අමාරු හා වේදනාකාරී වුවත් අවදානම ගෙන ලෙඩා සුවකර ගැනීම සදහා විශාල සැත්කමක් සිදු කිරීම හැර වෙනත් විකල්පයක් තිබේ ද යන්න සලකා බැලීම වටී.

Similar Posts